අගමැති චීනයේ පළමු අගමැතිගේ කාර්යාලයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, August 14, 2016

අගමැති චීනයේ පළමු අගමැතිගේ කාර්යාලයට

අගමැති චීනයේ පළමු අගමැතිගේ කාර්යාලයට
නිරිතදිග චීනයේ පස් දින සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඇතුලූ දූත පිරිස ඊයේ (13) දහවල් චොංජිං (Chongqing) නුවර පෝට් ග්ලෝබල් සාප්පු සංකීර්ණයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ශ්‍රී ලංකා දූත පිරිස එහිදී මෙම සාප්පු සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව සොයා බැලීය. ඉන් අනතුරුව ශ්‍රී ලංකා දූත පිරිස පැමිණියේ අමෙරිකාව සහ චීනය පැසිස්ට්වාදයට එරෙහිව සටන් මෙහෙය වූ ස්ථානය ලෙස සැලකෙන ස්ටිල්වෙල් කෞතුකාගාරයටය. 

දෙවන ලෝක යුද සමයේ පැසිස්ට්වාදයට එරෙහිව ප්‍රබල මතයක් ගොඩනැගීමට අමෙරිකාව සහ චීනය සමත් වූ අතර මෙම ස්ථානය කොමින්ටන්ග් පක්‍ෂ පාලන සමයේ පැසිස්ට්වාදයට එරෙහිව දියත් කළ යුද්ධයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ද සැලකේ. 

පැසිස්ට්වාදී ආක්‍රමණයට එරෙහිව විශාල දායකත්වයක් ලබාදුන් ජෙනරාල් ස්ටිල්වෙල් මහතාට ගෞරවය දැක්වීමක් ලෙස මෙම ස්ථානය පසුකාලීනව කෞතුකාගාරයක් බවට පත් කරනු ලැබිණ. මෙම වකවානුව අමෙරිකාව සහ චීනය අතර මිතුදම ඉතා ශක්තිමත් වූ කාල වකානුවක් බව ද පැවසේ. අමෙරිකාව ඇතුලු ලොව පුරා රටවල්වල සංචාරකයින් ලක්‍ෂ ගණනින් මෙම කෞතුකාගාරය නැරැඹිම විශේෂිතය.

අග්‍රාමාත්‍යවරයා ඇතුලූ දූත පිරිස අනතුරුව චීනයේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ඡූ එන්ලායි මහතාගේ නිවස සහ කාර්යාල පරිශ්‍රයට පැමිණ එහි සංචාරයේ නිරත විය. ජාතික මට්ටමේ සංස්කෘතික මන්දිරයක් ලෙස පවත්වා ගෙන යනු ලබන මහල් තුනකින් සමන්විත හිටපු අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිවසේ සංරක්‍ෂණය කර ඇති විශේෂිත අවස්ථාවන්හි ඡායාරූප සහ කෞතුක භාණ්ඩ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සහ දූත පිරිසේ නිරීක්‍ෂණයට ලක් විය.
 
ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, බස්නාහිර මහනගර සැලසුම් ව්‍යාපෘතියේ සභාපති අජිත ද කොස්තා, සංවර්ධන ඒජන්සියේ කළමනාකරණ අධ්‍යක්‍ෂ මංගල යාපා, දකුණු සංවර්ධන මණ්ඩලයේ සභාපති ශිරන්ත හේරත්, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ උපදේශක රයන් රොක්වුඩ් යන මහත්වරුන් ද මෙම අවස්ථාවන්ට එක්වූහ.

No comments:

Post a Comment

Post Bottom Ad