ජනාධිපති බලතල තවත් වැඩි කල යුතුයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 29, 2014

ජනාධිපති බලතල තවත් වැඩි කල යුතුයි

පවතින ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා හට කිසිදු තනි තීරණයක් ගත නොහැකි බැවින් එහි බලතල තව තවත් වැඩිකළ යුතු බව අගමැති දි.මු. ජයරත්න මහතා පවසයි. 

විධායක ජනාධිපති ක්‍රමයේ කිසිදු වැරැද්දක් නොමැති බව හා බලතල නොමැති ජනාධිපති ධුරයකින් රට පාලනය කළ බවත් සඳහන් කරන අගමැතිවරයා රට ගොඩනැඟීමට නම් ජනාධිපති ධුරයේ බලතල තවත් වැඩිකළ යුතු බව සඳහන් කරයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී විවෘත කෙරුණු අවස්ථාවට ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගි වූ අග්‍රාමාත්‍යවරයා ඉහත අදහස් පළ කෙළේය.

ජනාධිපතිවරණය ඉදිරි ජනවාරි මාසයේදී අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. මහජනතාවගේ කුතුහලය අවුස්සලා එක පාරටම දිනය අපි ප්‍රකාශයට පත් කරන්නම්. ඒකයි දිනය ප්‍රකාශ කිරීම අපි ප්‍රමාද කරන්නේ. දැන් ඒ පිළිබඳ විවිධ අය විවිධ මතිමතාන්තර, අදහස් පළ කරනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව එක් අයකුට තෙවරක් ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙන්න බැරිලු. බක පණ්ඩිතයන්ට ඒදණ්ඩේ යන්න බෑ. ඒ අය තවම දන්නේ නැද්ද අපි 2/3 සහාය ඇතිව ව්‍යවස්ථාවේ තිබූ ‘නොහැක’ කියන වචනයෙන් ‘නො’ කියන කෑල්ල අයින් කරල ඒක ‘හැක’ කියල වෙනස් කළා කියලා. 

දැන් තෙවරක් නෙවෙයි දසවරක්, විසි වරක් නෙවෙයි ඕනතරම් ඕන කෙනකුට ඉදිරිපත් වෙන්න පුළුවන් යැයිද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
දැන් මේ අය කියනවා 18 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිට ඕන කෙනෙක් ඕන තනතුරකට පත් කරන්න පුළුවන්. එහෙම කරන්න බැහැ. 

පුරප්පාඩුවක් ඇති වුණොත් ජනාධිපතිට තනි තීරණ ගන්න බැහැ. කමිටුවක් මඟින් තමයි ඒ පුරප්පාඩු පුරවන්නේ. කැබිනට් මණ්ඩල හා පාර්ලිමේන්තු අනුමතය මතයි ඒවා කරන්නෙ. ජනාධිපතිගේ තනි තීරණයට එහෙම කිසි කෙනෙක් පත්කරල නැහැ කියලා මම වගකීමෙන් කියනවා.

මේ විධායක ජනාධිපති ධුරයේ තියෙන වැරැද්ද මොකක්ද. මේක නොතිබුණා නම් 30 අවුරුද්දක් පැවැති යුද්ධය අවසන් කරන්නෙ කොහොමද? එජාප සහාය මත අපිට දැන් 2/3 බලයක් තියෙනවා. එජාප අය මෙහාට පැන්න නිසයි මේ ආණ්ඩුව පවතින්නේ. මේ ශක්තිමත් රජයක් බවද ඒ මහතා පැවැසීය.

අද සමහරුන් කියනවා අගමැති ක්‍රමයකට යා යුතුයි කියලා. එහෙම කළා නම් එක්කෙනෙක් මේ පැත්තට පැන්නොත් ඡන්ද තියන්න වෙනවා. අද මේ අය එහාට මෙහාට පනින විදියට හැමදාම ඡන්ද තියෙන්න වේවි. ඡන්දවලට කතිර ගහලම මිනිසුන්ගේ ඇඟිලි තුවාල වේවි. 

විධායක බලය නොමැතිව මේ රටවල් පාලනය කරන්න බෑ. අද ලෝකයේ රටවල් 14ක මහා දරුණු යුද්ධ තියෙනවා. සිය ගණන් මිනිස්සු මැරෙනවා. බලවත් බලතල සහිත පාලකයන් නොමැති වීමයි මීට හේතුව. ඒ නිසා මෙයටත් වඩා බලතල අවශ්‍ය වෙනවා මේ රට ඉදිරියට ගෙන යෑමට නම්. බලතල නොමැතිව රටක් පාලනය කරන්න බැහැ යැයිද අග්‍රාමාත්‍යවරයා කීය.

– මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad