එක්සත් ජාතික පක්ෂය ඉතිහාසගත දැවැන්ත පසුබෑමක් අබියස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 6, 2020

එක්සත් ජාතික පක්ෂය ඉතිහාසගත දැවැන්ත පසුබෑමක් අබියස

2020 මහමැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය ඉතිහාසගත අති දැවැන්ත පසුබෑමකට මුහුණ දී සිටින බව ආරංචිමාර්ග පවසයි.

දිවයින පුරා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලින් ලැබෙන නිල නොවන ආරංචි සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය ඉතාම අඩු එකක් බවයි.

පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට ටික වේලාවකට පෙර නිකුත් කෙරුණු අතර එහිදී එජාපය ලබාගෙන තිබුණේ 3.96%ක ඡන්ද ප්‍රතිශතයකි. ගාල්ල යනු එජාපෙ රජයේ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වූත් රනිල් පිලේ ප්‍රබලතමයකු වූත් වජිර අබේවර්ධන මහතා නියෝජනය කරන දිස්ත්‍රික්කයයි.

එජාපය එහි නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සන්ධානයක් යටතේ මහමැතිවරණයට තරගවැදීමට මුලින් තීරණය කර තිබුණ ද එම සන්ධානයෙහි තීරක බලය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ පිල අකමැතිවීම නිසා සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කළ සෙසු සුළු පක්ෂ නායකයින් ද සමගි ජන බලවේගය වශයෙන් වෙන්ව තරග වැදුණි.

ඒ අනුව සිය ජනප්‍රිය නියෝජ්‍ය නායකයා සහ ඔහුගේ ඡන්ද පදනම අහිමි කරගැනීමේ ප්‍රතිඵලය එජාපය මනාව මැතිවරණ ප්‍රතිඵලය තුළින් අත්විඳිමින් සිටින ආකාරයක් පෙන්නුම් කෙරේ.


No comments:

Post a Comment

Post Bottom Ad