රස්නෙන් බේරෙන්න දළුකාන ආදිවාසීහු ගෙවල් අතැර ගස් යටට යති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 28, 2017

රස්නෙන් බේරෙන්න දළුකාන ආදිවාසීහු ගෙවල් අතැර ගස් යටට යති


දිඹුලාගල දළුකාන ආදිවාසී ගම්මානයේ පවුල් කිහිපයක් පවතින අධික අව් රස්නයෙන් බේරී සිටීමට 26 වැනිදා සවස දිඹුලාගල කන්දේ ගස් යට ජීවිත ගත කිරීමට ගිය පුවතක් වාර්තා වේ. දළුකාන ආදිවාසී නායක හන්දාගේ අමරසිංහ ඇත්තෝ ඇතුළු දරු පවුල් 15කට වැඩි පිරිසක් තම සුපුරුදු ආහාර ජීවන රටාව සොයා මෙලෙස වනගත ජීවිතයක් ගත කිරීමට ගොස් ඇත.

"මහත්තයෝ අපිට ගොඩ කාලයකින් වැස්සක් නැහැ. බොන්න පිරිසුදු වතුර ටිකක් නැහැ. දවාලට ඇඟ පුපුරන්න රස්නෙයි. දරුවෝ අඬනවා. අපිට හරියට කන්න බොන්න නැහැ. ඒ නිසා අපි දිඹුලාගල කන්දට ඇවිත් මීයක් කඩලා, දිවුල් ගෙඩියක් කාලා, කටු අලවත් හොයාගෙන කාලා ජීවත් වෙනවා. ඉස්සර අපේ අම්මලා තාත්තලා අපිව ලොකු මහත් කළේ මේ කැලෑවල අල, කොළ කාලා. අපිට ලෙඩක් දුකක් කරදරයක් වුණේ නෑ. මේ සේරම ගැන හිතලා අපිට තියෙන රස්නයෙන් බේරෙන්නත් එක්ක අපි දිඹුලාගල කන්දේ ගස් යට ජීවිතය ගත කරන්න ආවා."

58 වියැති කේ. ලිසිනෝනා මහත්මිය එලෙස පැවැසුවාය. දිඹුලාගල කන්දේ ගල්ගුහාවල සහ ගස් යට ජීවිතය ගත කිරීමට තම දරුවන් එක් කර ගත්තද ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට කිසිදු බාධාවක් වීමට ඉඩ නොතබන බවද ලිසිනෝනා මහත්මිය පැවැසුවාය. මෙම ජීවිතය ගත කිරීමට දළුකාන ආදිවාසීන් වන හන්දාගේ අමරසිංහ ඇත්තෝ, රෝසප්පුගේ හීන්බණ්ඩා, කන්දාගේ සුදුබණ්ඩා යන අයවලුන්ද එක්ව සිටියහ. තමන්ට තද වර්ෂාවක් ලැබෙන තුරු මෙම ජීවිතය ගත කරන බවත් එදා ගල්, ගස් යට ජීවිතය ගත කළ තමන්ට ස්වභාවධර්මය පිහිට වූ බවද ආදිවාසීහු පැවැසූහ.

මනම්පිටිය - ප්‍රසාත් සමන්

No comments:

Post a Comment

Post Bottom Ad