ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වන තුරු බලා සිටින ආණ්ඩුවේ ලොක්කන්ටත් සිදුවන්නේ එළුවාගේ අහවල් එක වැටෙන තුරු පස්සෙන් ගිය නරියාට සිදු වූ දෙයම බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
දිනෙන් දින ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියට යන ඒකාබද්ධ විපක්ෂයේ ගමන නතර කිරීමට කිසිවකුට නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂය දෙකඩවීමේ හීනය නම් කිසිදා සැබෑ නොවන්නක් බවත් අවධාරණය කළේය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ දිවුලපිටිය ප්‍රදේශයේ දී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙනවා දකින එක තමයි අද ආණ්ඩුවේ අයගේ ලොකුම හීනය වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ ලොක්කෝ සේරම නින්දට යන්නේ උදේට නැගිටිනකොට ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙලා තියේවා කියන ප්‍රාර්ථනයෙන්. හැබැයි ඒ හීනය නම් කවදාවත් හැබෑ වෙන හීනයක් නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ අද මේ රටේ පොදුජනතාව නියෝජනය කරන සැබෑ විපක්ෂයයි. පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ගෙන් සියයට අනූවකටත් වැඩි පිරිසකුත් පළාත් සභා සියල්ලෙහිම සැලකිය යුතු නියෝජිත පිරිසකුත් ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දක්වනවා.
ඊට අමතරව පාර්ලිමේන්තුවේ පක්ෂ රැසක සහයෝගය වගේම මේ රටේ බහුතර ජනතාවගේ සහයෝගයත් අද තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයටයි. දවසින් දවස මේ පරගැති ආණ්ඩුව පිරිහෙමින් යනවා වගේම ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් වෙමින් යනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. ඒකාබද්ධ විපක්ෂය ශක්තිමත් වෙන එක තමයි අද ආණ්ඩුවට තියෙන ලොකුම හිසරදය. මම දැක්කා පත්තරවල දාලා තියෙනවා ඒකාබද්ධ විපක්ෂය දෙකඩ වෙයි කියලා. සමහරු තමන්ගේ හීන හැබෑ වෙන්නේ නැති බව දැනුණාම තාවකාලික සතුටක් ලබන්න ඔය වගේ ප්‍රවෘත්ති පළ කරවා ගන්නවා.
ඒවා පෙන්නලා තමන්ගේ නායකයන් රවට්ටලා තව තවත් වරදාන වරප්‍රසාද ලබා ගන්න එක තමයි එයාලාගේ අරමුණ. හැබැයි ඔය වගේ බොරුවලට මේ රටේ ජනතාව රවට්ටන්න බැහැ. රටේ ජනතාව දැන් විශ්වාස කරන්නේ මේ සභාග ආණ්ඩුවෙන් රට බේරා ගත හැකි එකම විකල්පය ඒකාබද්ධය කියලයි. ඒකාබද්ධ විපක්ෂය බෙදෙනකම් කට ඇරන් බලන් ඉන්න ආණ්ඩුවේ අයට තමන්ගේ පැත්තේ වෙන බෙදීම් පෙනෙන්නේ නැහැ. මේ වෙනකොට ආණ්ඩුව සම්පූර්ණයෙන්ම දෙදරලා ඉවරයි. ආණ්ඩුවේ හැසිරීමත් හරියට නිරුවතින් ඉන්න මිනිහා අමුඩය ගහපු කෙනාට හිනාවෙනවා වගෙයි.
බෙල්ල ළඟටම එරිලා ඉන්න ආණ්ඩුව ඒකාබද්ධ විපක්ෂයට හිනාවෙනවා. මිනිස්සුන්ට දැන් මේ ආණ්ඩුවේ නරි නාටක එපා වෙලා තියෙන්නේ. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියන එකට හොඳම උදාහරණය මේ යහපාලන ආණ්ඩුවයි. ඒකාබද්ධය දෙකඩ වෙනකම් බලා ඉන්න ආණ්ඩුවේ ලොක්කන්ටත් වෙන්නේ එළුවගේ මොකක්ද එක වැටෙන කම් පස්සෙන් ගිය නරියට වෙච්ච දේම තමයි.
පසුගිය ආණ්ඩුව තියෙන කාලයේ විපක්ෂය නිතරම කතා කළේ සුදු වෑන් ගැනයි. සුදු වෑන්වල පිහිටෙන් ජනතාව රවට්ටලා බලයට ආපු ආණ්ඩුව දැන් යහපාලන සුදු වෑන් රටට හඳුන්වා දිලා තියෙනවා. මහ දවාලේ සුදු වෑන්වලින් ඇවිත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් පැහැරගෙන යාමට තැත් කිරීම අයිති වෙන්නේ මොන යහපාලන මූලධර්මයට ද කියලා අපි අහනවා. එදා සතොස භාවිතා කළේ මිනිස්සුන්ට සහන මිලට බඩු ටික දෙන්නයි. යහපාලන ආණ්ඩුව යටතේ දැන් සතොස භාවිතා කරන්නේ රටටම කුඩු බෙදන්නයි. සතොටස යන කන්ටේනර්වල සීනි වෙනුවට තියෙන්නේ කුඩු. අද මේ ආණ්ඩුව කුඩු රජවරුන්ගේ ආණ්ඩුවක් බවට පත් වෙලා.
කුඩුකාරයෝ, පාතාල නායකයෝ තමයි මේ ආණ්ඩුවේ කේන්ද්‍රය වෙලා තියෙන්නේ. එදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා පාතාලයත් කුඩු ජාවාරමත් නැත්තට නැති කළා. මේ ආණ්ඩුව බලයට ආපු ගමන් කළේ එදා ගෝඨාභයට බයේ පැනලා ගිය පාතාලයෝ, කුඩ්ඩෝ ටික ලංකාවට ගෙන්නපු එකයි. දැන් ඒවායේ ප්‍රතිඵල ආණ්ඩුවටම විඳින්න වෙලා තියෙනවා. කුඩු ජාවාරම්කාරයෝ, පාතාලයෝ ආශ්‍රය කරන ඇමැතියලාට නම් මොන හෙනේ ගැහුවත් කමක් නැහැ මේවායේ අහිතකර ප්‍රතිඵල අසරණ ජනතාවටත් විඳින්න වෙලා තියෙන එක තමයි අපිට තියෙන දුක.
යහපාලනය, මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස මේවා මේ ආණ්ඩුව බලයට එන්න ගෙනාපු නිකම්ම නිකම් සටන් පාඨ විතරයි. අපේම කොටසක් මේ සටන් පාඨවලට රැවටුණ හින්දා අන්තිමට රට අඳුරු අගාධයකට වැටුණ එක විතරයි වුණේ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක යහපාලනයක් ගොඩනඟන්න හිතන එක තරම් තවත් පිස්සුවක් නැහැ.ඒක හරියට කොටියා සිල් ගත්තා වගෙයි. සිල් ගත්තත් කොටියා ලේ රහ අමතක කරන්නේ නැහැ. ඒ වගේ තමයි එක්සත් ජාතික පක්ෂයත්. ඒ හින්දා තමයි අපි ඔය හවුල් දීගයට අකමැති වුණේ.
දැන් මේ රටට ඕනේ හවුල් ආණ්ඩුවක් නෙමෙයි. කොන්ද පණ තියෙන නායකයකු විසින් මෙහෙයවන ශක්තිමත් ආණ්ඩුවක්. එහෙම නායකයෙක් මේ රටේ ඉතුරු වෙලා ඉන්නවා නම් ඒ මහින්ද රාජපක්ෂ විතරයි. රූකඩ නායකයන්ගෙන් අපට වැඩක් නැහැ. ඒ වෙනුවෙන් තමයි ඒකාබද්ධ විපක්ෂය මේ ගමන යන්නේ.
– ප‍්‍රදීප් අනුර කුමාර
Tuesday, July 25, 2017
රූකඩ නායක එපා.. මහින්ද විතරයි ඔ්නෑ..- ප‍්‍රසන්න තදින්ම අමතයි…
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment