ජනපතිගෙන් ගැසට් නිවේදන - කොලොන්නාව නිමාවේ බලය හමුදාව යටතට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

ජනපතිගෙන් ගැසට් නිවේදන - කොලොන්නාව නිමාවේ බලය හමුදාව යටතට


ඊයේ දිනය පුරා ඛණිජ තෙල් සේවකයින් සිදු කළ වර්ජන ක්‍රියාමාර්ගයට කිසිදු එකඟතාවයක් නොදක්වන්නට රජය තීරණය කර තිබෙන අතර ඒ වෙනුවට ඛණිජ තෙල් සේවාවන් අත්‍යවශ්‍ය බවට ගැසට් කර හමුදාව යොදවා තෙල් බෙදාහැරීමේ සේවාවන් පවත්වා යන්නට කටයුතු යොදා ඇති අතර තවදුරටත් වර්ජනයේ නිරතවන සේවකයින් සේවයෙන් නෙරපීමට අවශ්‍ය නීතිමය විධිවිධාන ගනු ලැබ තිබෙයි.

ඊයේ (25දා) මධ්‍යම රාත්‍රී ජනාධිපතිරවයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විසින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයට අනුව පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබේ. එමෙන්ම, වරායන් තුළ නැවක් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, භාරදීම හෝ ඉවත්කිරීමට අදාළව සිදුකළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන් ඉටුකළ යුතු බවටද එම ගැසට් නිවේදනයේ දැක්වෙයි.අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසුව සේවකයන් සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අත්හැර ගියා සේ සලකන බවද රජය දන්වා සිටී.

කොලොන්නාව ඛණිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ නිමාව වෙත ඊයේ අලුයම 2 ට පමණ හමුදාව ඇතුළු වී එහි බලය සම්පූර්ණයෙන් හමුදාව යටතට පත් කර ගන්නා ලදී. ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි ගේට්ටුවකින් යුධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඇතුළු වී වැඩ වර්ජනයේ නිරත සේවකයන් තෙල් සංස්ථා භූමියෙන් පිටතට ඇදදමා මෙලෙස බලය තහවුරු කර ගත් අතර, සංස්ථා සේවකයන් සිදු කරගෙන ගිය තෙල් බෙදාහැරිමේ කටයුතු නැවත යථා අයුරින් සිදු කිරීමට ඒ අනුව කටයුතු අරඹන ලදි.

වර්ජනයට එක්ව සිටින සේවකයන් ඉවත්කර ඊට සහාය නොදක්වන සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවද වාර්තා වෙයි. හමුදාව මගින් පාලනය වී පළවෙනි ඉන්ධන බවුසරය අද (26දා) දින උදේ දහය පමණ වන විට තෙල් සංස්ථාවෙන් ලබාදීමට හැකිවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න  මහතා සඳහන් කළේය.



No comments:

Post a Comment

Post Bottom Ad