මම ඔහේ කරන්නම් වාලේ... ගීත නිර්මාණය කරන් නෑ... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 11, 2017

මම ඔහේ කරන්නම් වාලේ... ගීත නිර්මාණය කරන් නෑ...


කණ්ඩායම් සංගීතය හරහා ක්ෂේත්‍රයට පිවිසි නොයෙල් රාජ් වර්තමානය වන විට ප්‍රසංග වේදි කාවට නැතිවම බැරි ගායකයෙකු බවට පත්ව සිටියි. "ළං ළං වෙලා


"ළෙන්ගතු සිත" , "රිංගා හොරෙන්" හා "දුක වැඩි තරමට" යන ගීත තුළින් රසික ඔබේ ආදරය දිනාගැනීමට සමත් වූ නොයෙල් රාජ් සමගින් මෙවර තරු කතාබහ අපි ඇරඹුවෙමු. මේ ඔහු සිය අලුත්ම ගීතය හා ඉදිරි නිර්මාණ ගැන පැවසූ අදහස්ය.
ළඟදි අලුත් ගීතයක් කළා නේද? ඔව්, දැන් සති දෙකක් විතර වෙනවා ඒක නිකුත් කරලා. මුලින්ම යූටියුබ් හරහා තමයි ගීතය ප්‍රචාරය කළේ. මීට දින කිහිපයකට පෙර තමයි රූපවාහිනී නාළිකාවලට ලබාදුන්නේ ගීතය ප්‍රචාරය කරන්න. ගීතය නිකුත් කරලා ගෙවුණු මේ කෙටි කාලය තුළ හොඳ රසික ප්‍රතිචාර ලැබුණා.

ගීතය ගැන විස්තර කියමු? ගීතය නම් කරලා තියෙන්නේ "දුක දන්නේ" කියලා. ලිව්වේ සත්සර කසුන් පතිරණ. ගී තනුව හා සංගීතය නිර්මාණය කළේ රොමේෂ් සුගතපාල. ගීතයේ රූප රචනාව නිර්මාණය කළෙත් ගී පද රචක සත්සර කසුන් පතිරණ.

කලින් කරපු නිර්මාණ එක්ක සංසන්දනය කළොත් මේ ගීතය තුළ වෙනසක් තියෙනවාද? ඔව්, ගී තනුවේ හා රූප රචනාවේ ලොකු වෙනසක් තියෙනවා කියලා මට හිතෙනවා. ගීතය ලියපු කසුන්ගේ හිතේ තිබුණ අදහස්ම ඔහු රූප රචනාවටත් එකතු කරලා තියෙනවා. ඒ හින්දා මම හිතනවා මේ ගීතය මා කළ අනෙකුත් නිර්මාණවලට වඩා යම් වෙනසක් තියෙනවා කියලා.

"දුක දන්නේ^ ගීතය එළිදක්වන්න කාලයක් ගියා නේද? ඔව්, මාස අටක් විතර ගියා. අන්තිමට කළේ "රිංගා හොරෙන්" ගීතය. මම මාස හයෙන් හයට තමයි ගීත නිකුත් කරන්නේ. නමුත්, මේ ගීතය එළිදක්වන්න ටිකක් කල් ගියා.

ඇයි කාලයක් ගන්නේ ගීත නිර්මාණය කරන්න? ඇත්තටම, මම ඔහේ කරන්නම් වාලේ ගීත නිර්මාණය කරන කෙනෙක් නෙමෙයි. කාලයක් අරගෙන හොඳ නිර්මාණයකට විතරක් මූලිකත්වය දෙන කෙනෙක්. අනෙක් කාරණය තමයි මගේ ගීතයක් රසවිඳින්න මම කාලයක් ලබාදෙනවා මගේ රසිකයන්ට. අද එකක් කරලා තව ගීතයක් මාසයකින් දෙකකින් එළිදක්වලා වැඩක් නැහැ. එතකොට කරන නිර්මාණය රසවිඳින්න බැරි වෙනවා. කාලයක් අහන්න හරි, දකින්න හරි දුන්නා නම් තමයි ඒ ගීතයේ නියම රසය විඳගන්න ලැබෙන්නේ. ගීතයක් ලියන එක, සංගීතවත් කරන එක, රූප රචනාවකට ගොඩනගන එක ලොකු වැඩක්. ඒකට කාලයක් යනවා. ඉතින් දුක්විඳලා කරන ඒ නිර්මාණය මාසයකින් දෙකකින් අහලා ඉවර කළහම අපරාධයක්.

මේ ගීතයෙන් පස්සේ ඔබ නිර්මාණය කරන අලුත් ගීතය අහන්න දකින්න අපිට තව මාස හයක් ඉන්න වෙනවා? ඔව්, "දුක දන්නේ" ගීතයෙන් පස්සේ මම කරන නිර්මාණය එළිදක්වන්න මම බලාපොරොත්තු වෙන් ඉන්නේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල. හැබැයි දැනටත් මම ඒ කරන නිර්මාණයට අවශ්‍ය දේවල් සකසමින් ඉන්නවා.

"සනිධප" වලින් ඉවත් වෙලා "මෙම්බර්ස්" එක්ක ඔබ එකතු වුණේ ඇයි? මට නිදහසක් අවශ්‍ය වෙලා තිබුණා. පසුගිය වසර තුන හතර ගත්තොත් සනිධප කණ්ඩායමත් එක්ක මම ගොඩක් වැඩ කළා. කොටින්ම කිව්වොත් ඒ සංගීත කණ්ඩායමට පිං සිද්ධ වෙන්න තමයි මම අද කාලබීලා අද හොඳ තැනක ඉන්නේ. සනිධප සංගීත කණ්ඩායම පටන් ගත්ත කාලයේ ඉඳලා මම යැපුනේ එකෙන් ලැබෙන මුදලින්. නමුත්, සංගීත කණ්ඩායමත් එක්ක ගෙවුණු ජීවිතේ කාර්ය බහුලයි. දිගින් දිගටම ප්‍රසංග එක්ක වැඩකරන කොට පවුල් ජීවිතයක් ගැන හිතන්න තරම්වත් කාලයක් නැහැ. අන්න ඒ හේතුව නිසා තමයි මම සනිධප කණ්ඩායමෙන් ඉවත් වුණේ. සනිධප කණ්ඩායමෙන් ඉවත් වෙනවා කියලා මම කණ්ඩායම දැනුවත් කළේ ගිය අවුරුද්දේ ජනවාරි මාසයේදී. හරියටම ඒ කියලා වසරක් ගෙවුණ තැන මම එකෙන් ඉවත් වුණා. මොකද, කියපු ගමන් එකෙන් අයින් වුණානම් සනිධප  කණ්ඩායම ලොකු අමාරුවක වැටෙනවා. ඒ හින්දා මම හැමෝම දැනුම්වත් කරලා තමයි එකෙන් ඉවත් වුණේ.

"මෙම්බර්ස්" සංගීත කණ්ඩායමත් එක්ක වර්තමානයේ ගෙවන ජීවිතේ කාර්යබහුල නැද්ද? නැහැ. මොකද, අපි එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැහැ. ගොඩක්ම කරන්නේ ගෘහස්ථ ප්‍රසංග පමණයි. මැයි මාසේ මැද වගේ අපි යුරෝපා සංචාරයක යනවා. ඔස්ට්‍රියා, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය හා ස්විඩනය කියන රටවල්වල ප්‍රසංග පවත්වනවා. "යුරෝපා" සංචාරය අවසන් වෙන්නේ ජුනි මාසයේ. අප්‍රේල් මාසයේදී අපි එක ප්‍රසංගයකටත්වත් සහභාගි වුණේ නැහැ. ආරාධනා නම් ලැබුණා, නමුත් කණ්ඩායම් සාමාජිකයෝ තීරණය කළා එළිමහන් ප්‍රසංගවලට සහභාගි වෙන්නේ නැහැ කියලා. "යුරෝපා" සංචාරයෙන් පස්සේ මෙම්බර්ස් අපි ගොඩක්ම කාර්ය බහුලයි. මොකද, ජුනි, ජූලි, අගෝස්තු හා එතැනින් එහාට වෙඩින් ප්‍රසංග අපි භාරගෙන තියෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad