සහල් නැළියට අයත් ප‍්‍රදේශයේ යෝධ වැවේ පරිවාර වැව් 80 ක් විතර තියෙනවා. ඒවා ආශ‍්‍රිතව පික්කුලම්, කරව්වායිකුලම්, ආන්දන්කුලම් වැනි ප‍්‍රදේශ නාම ගොඩ නැගී ඇත්තේ එම ‘වැව්’ නිසයි.
යෝධ වැවේ ප‍්‍රධාන සොරොවු එල්.ටී.ටී.ඊ.ය වසා දමා තිබූ නිසා මේ ප‍්‍රදේශවලට ජලය සැපයීමක් සිදුවුණේ නැහැ. එම ගම් ප‍්‍රදේශ කුඹුරු පිටි බවටත්, පරිවාර වැව්, වැව් පිටි බවටත් පත්වෙලා තිබුණා. ඒ කියන්නේ විශාල විවෘත භූමියක් නිර්මාණය වෙලා. සහල් නැළිය ප‍්‍රදේශය මෙයාකාරයෙන් විනාශය කරා ඇද දැමීමට එල්.ටී.ටී.ඊ.ය කි‍්‍රයාකර තිබීම විශාල අපරාධයක්.
හෙක්ටර් කොබ්බෑකඩුව ඇමැතිතුමා ගේ කාලයේ දී මේ ප‍්‍රදේශයෙන් රටට වැඩි ම වී අස්වැන්නක් ලබා දී තිබූ බව පාලු වී ගිය කුඹුරුපිටි දකිද්දී අපට සිහිපත් වුණා. අතීතයේ සරුසාර කෙත්යායවල් වූ මේ ප‍්‍රදේශ පාලුවට යාමට සැලැස්වීම එල්.ටී.ටී.ඊ.යට උපක‍්‍රමිකව වාසිදායක වුණා. එම විවෘත භූමියේ වැඩි වාසිය ඔවුන්ටයි. ඔවුන් කළේ කුඹුරු ඉඩම් හාරා ආරක්ෂක බැමි ඉදිකිරීමයි. ඒ නිසා ගැඹුරු අගල් සේම අඩි 10 – 15 උස පස් කඳු දකින්න ලැබුණා. නමුත් මේ අභියෝග ජය ගනිමින් 58 සේනාංකය මලිකයිකයිදාල් වැව් බැම්ම ප‍්‍රදේශයට ඇතුළු වුණා.
මෙම සටන්වල දී යළිත් වරක් එම්.අයි. 24 ප‍්‍රහාරක යානා යොදා ගනිමින් ගුවන් හමුදාව පාබල සේනාංකවලට විශාල සහයක් ලබා දුන්නා. ගුවන් හමුදාව එල්.ටී.ටී.ඊ.යට වාසිදායක වූ එම විවෘත භූමිය තමන් ගේ වාසියට හරවා ගත්තා. මේ අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ මැදිහත් වීමෙන් සෑම සේනාංකයට ම යූ.ඒ.වී. තාක්ෂණයේ (නියමුවන් රහිත යානා මඟින් තොරතුරු ලබා ගැනීම) සහාය ලබාගැනීමට පහසුකම් සැළසුණා.
වර්ග කි.මී. 52 ක පමණ මෙවැනි විවෘත ප‍්‍රදේශයක් හරහා යාමේ දී එය අතිශයින් වාසිදායකයි. නියමු රහිත යානය මගින් ලබා ගන්නා දර්ශන ඇසුරින් භූමිය නිරීක්ෂණය කිරීමට පාබල සේනාංකවලට ඉඩ ලැබීම සටනේ සාර්ථකත්වයට හේතුවුණා. කලින් යූ.ඒ.වී. දර්ශන යොමු වුණේ කොළඹට සහ අනුරාධපුරයටයි. නමුත් මේ පහසුකම ලැබීමත් එක්ක එම දර්ශන කෙළින් ම ලබා ගන්න පුළුවන් වුණා. එල්.ටී.ටී.ඊ.යේ බල අවි ප‍්‍රහාර නිසා ඇති වූ බාධාවන් ජය ගැනීමටත්, එල්.ටී.ටී.ඊ. ඉලක්ක වෙඩික්කරුවන්ගෙන් ආරක්ෂා වෙමින් භූමිය නිරීක්ෂණය කිරීමටත් මේ නිසා හැකිවුණා.
භට පිරිස්වල ගමන වේගවත් සමට මේ කාරණය බලපෑවා. ගුවන් හමුදාව ගුවන් ප‍්‍රහාර සිදුකළේ සිවිල් ජනයාට හානි නොවන පරිදි ඉලක්ක තෝරා ගැනීමෙන්. මේ තාක්ෂණය නිසා ගුවන් හමුදාවට නිවැරදි ඉලක්ක ලබාදීමත් බිම සිටි භට පිරිස්වලට පහසුවක් වුණා. යූ.ඒ.වී. පහසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් 58 සේනාංකාධිපතිවරයා බෙහෙවින් සතුටට පත්වුණා. ඉතාමත් ඉක්මනින් එල්.ටී.ටී.ඊ.යට තමන් අත්කරගෙන සිටි ප‍්‍රදේශවල බලය අහිමිවීමට මේ කාරණය බලපෑවා.
මේ මෙහෙයුමේ දී එල්.ටී.ටී.ඊ.ය සන්නද්ධ රථ යොදා ගනිමින් පළමු ප‍්‍රහාරය සිදු කරන්නේත් මේ ප‍්‍රදේශයේ දී. මලිකයිතයිදාල් වැව් බැම්ම ආශ‍්‍රිතව සිදුවූ එම ප‍්‍රහාරය අපි අපේක්ෂා කළේ නැහැ. එහි දී මුල් පැය කිහිපය තුළ ගුවන් හමුදාව විශාල සහයක් ලබාදෙමින් එම ප‍්‍රහාරයට මුහුණදීමට හමුදා භට පිරිස්වලට උපකාරී වුණා. පරයාකුලම්, උයිලන්කුලම්, අම්මාන්කුලම් වැනි ප‍්‍රදේශවල පිහිටා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ප‍්‍රහාරක මධ්‍යස්ථානවලට යුද හමුදාව දැඩි ලෙස පහර දුන්නා. ඒ නිසා එල්.ටී.ටී.ඊ.යේ බර අවි වෙඩි බලය අඩු වෙනවා. දරුණු සටන්වලින් පසු පරයාකුලම් හි බලයත් එල්.ටී.ටී.ඊ.යට අහිමිවුණා.
මීළඟට හමුදාවේ ඉලක්කය වුණේ අඩම්පන්වලින් පසු හමුවන ප‍්‍රධාන නගරය වන ආන්දන්කුලමයි. ඒ වනවිට එල්.ටී.ටී.ඊ.ය සාමාන්‍ය ජනයා ද සමඟ එම ප‍්‍රදේශයට පලාගොස් තිබුණා. ඔවුන් ආන්දන්කුලමේ මෙහෙයුම් කඳවුරු ස්ථානගත කර තිබුණේ ලීමා 3 අහිමිවනවාත් සමඟයි. මේ ප‍්‍රදේශවල සටන් පවතින අතර කිලිනොච්චියේ දී දුටු තවත් විශේෂ සිද්ධියක් අප වාර්තා කළා. ඒ එල්.ටී.ටී.ඊ.ය රාමනාදන්පුරම් හි දී පැහැරගත් සීලන් නැමැති 20 හැවිරිදි ළමයකු ළමා සොල්දාදුවකු බවට පත් වීම පිළිබඳ වේදනාවෙන් ළිඳකට පැන සිය දිවි නසාගෙන සිටීමයි.
එම ප‍්‍රදේශයෙන් පලා ආ සීලන් ගේ ඥාතියෙක් අප සමඟ මේ කතාව කිව්වා. ඔහුත් සමඟ සිවිල් වැසියන් 11 දෙනෙක් පමණ ඒ අවස්ථාවේ භාර වුණා. මක්කල්පඩෙයි, පෝරායි ෆෝස් වැනි බලකායන්ට බඳවා ගැනීම සඳහා එල්.ටී.ටී.ඊ.ය තම ළමයින් බලහත්කාරයෙන් රැගෙන යන බව ඔවුන් කිව්වා. ඒත් සීලන් ගේ කතාව ගැන රතුකුරුස නියෝජිතයන් පවා උනන්දුවෙන් සවන් දෙන බවක් අපට පෙණුනේ නැහැ. රජය තමන්ට යවන සහනාධාර ඖෂධ පවා කොල්ලකමින් එල්.ටී.ටී.ඊ.ය තමන් අසරණ කර ඇතැයි මේ මිනිසුන් කියා සිටියා. නමුත්, අහිංසක දෙමළ ජනතාව විසින් ම කියාපාන මේ ඇත්ත ගැන ඇතැම් ජාත්‍යන්තර සංවිධාන සංවේදී වන්නේ නැහැ.
වන්නි මානුෂීය මෙහෙයුම ඉදිරියට යන අතර වඩාත් වැදගත් සිදුවීමක් මේ වකවානුවේ වාර්තා කරන්න ලැබුණා. ඒ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායකයා ලෙස කියා සිටි තමිල් සෙල්වම් ගුවන් හමුදා ප‍්‍රහාරයකින් මරා දැමීමයි. අපි මේ සත්‍ය පුවත ජාතික රූපවාහිනියෙන් කඩිනමින් ඉදිරිපත් කළා. මුලදී තමිල් සෙල්වම් ගුවන් ප‍්‍රහාරයකින් මිය ගිය බව එල්.ටී.ටී.ඊ.ය පිළිගත්තේ නැහැ. ඇතැම් මාධ්‍යයත් එවැනි මතයක පිහිටා සිටියා. නමුත් එම ප‍්‍රදේශයේ සිට පැමිණි සිවිල් ජනතාවගෙන් ම ලබා ගත් තොරතුරු අනුවත් තිරුවෙයිආරු ප‍්‍රදේශයේ දී ඔහු ගේ මරණය සිදු වූ බව අප පැහැදිලිව කිව්වා.
ගුවන් හමුදාව ලබා ගත් මේ විශිෂ්ට ජයත් සමඟ එල්.ටී.ටී.ඊ.ය දෙදරා ගියා. මේ සමඟ යුද හමුදාවේ පාබල සොල්ලාදුවාටත් විශාල ශක්තියක් ලැබුණා. ඔවුන් ගේ චිත්ත ධෛර්යය විශාල ලෙස ඉහළ ගියා. ඔවුන් නව වීරත්වයකින් යුතුව පෙරට ගියා. ගුවන් හමුදාව තමිල් සෙල්වම් මරා දමා සතියක් ගතවීමටත් පෙර නාවික හමුදාව මුලතිව් මුහුදේ දී තවත් ප‍්‍රබල ජයක් ලැබුවා. ඒ එල්.ටී.ටී.ඊ. ප‍්‍රබලයන් කිහිපදෙනෙක් ද සමඟ විශාල යාත‍්‍රාවක් විනාශ කිරීමයි. එවැනි ප‍්‍රහාර එල්.ටී.ටී.ඊ.යට දැඩි පසුබෑමක් ඇතිකරන අතර ආරක්ෂක හමුදාවලට දැඩි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරනවා. විශේෂයෙන් සෙබළුන්ගේ චිත්ත ධෛර්යය ඉහළ නැංවීමත් එහි දී සිදුවෙනවා.
තමිල් සෙල්වම් නම් ත‍්‍රස්තවාදී නායකයා ගේ මරණයත් සමඟ රට තුළත් වන්නි මානුෂීය මෙහෙයුම විශ්වාසය තවත් වර්ධනය වූ බව පෙනෙන්න තිබුණා. ජනතාව අතිශය සතුටට පත්වුණා. සෙල්වම් ගේ මරණය ගැන එම ප‍්‍රදේශයේ සිට ආ සාමාන්‍ය වැසියෙක් කියූ කතාව මට තව ම හොඳට මතකයි. ගුවන් හමුදාව උඩින් ගැහුවා. ඒ – 9 පාරේ තිරුවෙයිආරුවල 15 බී කණුව හරියෙ ටෙලිකොම් එකේ කුලුණක් තියෙනවා. ඔය හරියේ තමයි තමිල් සෙල්වම් හිටපු එල්.ටී.ටී.ඊ.යේ නිවාස සංකීර්ණය තියෙන්නේ. ඔහු මැරුණා ඒක ස්ථිරයි.
මම මේ වැසියා ගේ ප‍්‍රකාශය ඔහුගේ කටහඩින් ම ප‍්‍රචාරයට යොමු කළා. ඒ වොයිස්කට් එක ප‍්‍රවෘත්තිවලින් ගියා. එල්.ටී.ටී.ඊ.යේ කොටි හඬ ගුවන් විදුලියත් ඔය කිට්ටුව තමයි තිබිලා තියෙන්නේ. තමිල් සෙල්වම් මැරුණ බවට සාමාන්‍ය ජනයාම කියූ ප‍්‍රකාශ ප‍්‍රචාරය වීමත් සමඟ ඔහු මිය ගොස් ඇතැයි පිළිගන්න එල්.ටී.ටී.ඊ.යට සිදුවුණා. සෙල්වම් ගේ මරණයෙන් දවස් 3 ක් විතර යද්දී ඔවුන් ඒ බව පිළිගත්තා. පෙරියමඩු වැව දෙසට හමුදාව ළඟා වුණේ ප‍්‍රවේශ 2 කින්. වයිරවකුලම් කැලෑව දෙසින් සහ වැව් තාවුල්ල දෙසින් ඔවුන් ඉදිරියට ඇදුණා. 11 වෙනි පාබල සේනාංකයත් සමඟ කැලෑව ඔස්සේ ට‍්‍රැක්ටරයකින් අප යමින් සිටියේ ඩොසර්කර සැකසූ මාර්ගයකයි.
ඒ අවස්ථථාවේ කපා දැමූ ගස් මුලක රෝද සිර වී අසීරුතාවකටත් ලක් වුණා. කෑම රැගෙන අනෙක් වාහනයෙන් අපි පසුව ඉදිරියට ගියා. මේ ගමනේ දී පෙරියමඩු දේවස්ථානය, පාසල සහ එල්.ටී.ටී.ඊ. කාර්යාලවල දර්ශනත් අපි ලබා ගත්තා. අපි ගමට ඇතුළු වුණේ කර්නල් එස්. දිසානායකත් සමඟයි. පෙරියමඩු රෝහලත් එල්.ටී.ටී.ඊ.ය කොල්ල කා විනාශයක් කර තිබුණා. රජය ජනතාවට යවන බෙහෙත් එල්.ටී.ටී.ඊ.ය කොල්ල කා තිබූ අයුරු පෙන්වමින් අපි හොඳ ප‍්‍රවෘත්ති ආවරණයක් එහි දී කළා.
පෙරියමඩු ප‍්‍රදේශයේ් දී එක් නිවෙසක දී අප දුටු දර්ශනයක් ගැනත් කියන්න ඕන. එහි බිත්තියක කලෙකට පෙර හමුදා සෙබළෙකු ලෙයින් තමන් ගේ අංකය සටහන් කර තිබුණා. අල්ලා ගන්නා හමුදා සාමාජිකයන් රඳවා ගන්නා ස්ථානයක් ලෙස එම නිවෙස භාවිත කර තිබූ බව එයින් පැහැදිලි වෙනවා. පෙරියමඩුවලින් පසු 57 සේනාංකය යොමු වුණේ පාලම්පිඩ්ඩි දෙසටයි. පාලම්පිඩ්ඩි මේ මෙහෙයුමේ තීරණාත්මක තැනක්. එය අත්කර ගැනීම සඳහා සති 3 ක් සටන් කරන්න සිදුව තිබුණා.
පාලම්පිඩ්ඩ් පාලමට මෙහායින් දැවැන්ත පස් බැම්මක් තරණය කිරීමටත් සිදුවුණා. 57 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් ගේ අණදීම යටතේ බලසේනාංකාධිපති කර්නල් රවිප‍්‍රිය මේ සඳහා මූලික වුණා. දරුණු සටන්වලින් පසු පාලම්පිඩ්ඩි අත්කර ගත්තේ වෙසක් පොහොයට දින 3 කට කලින්. ඒ ගැන ලස්සන කතාවක් තියෙනවා. මම කර්නල් රවිප‍්‍රියට කිව්වා මේ යන විධියට සෙනසුරාදා ඉරිදා සහ වෙසක් පෝය නිවාඩු අතරේ මේක අත්කර ගත්තොත් මේ ප‍්‍රවෘත්තිය පත්තරවල දාගන්න අමාරු වෙන බව.
මොකද නිවාඩු දවස්. රවිප‍්‍රිය මට මෙහෙම කිව්වා. හරි, හරි අපි රාමවික‍්‍රමට නිව්ස් දෙන්නම් බය නැතුව ඉන්න කියලා කිව්වත් වගේ පෝයට දින 3 කට කලින් පාලම්පිඩ්ඩි ගත්තා. ඒ ගැන සතුටක් වගේ ම එතැනින් එහාදී අනුවේදනීය මතකයකුත් මට තියෙනවා. පාලම්පිඩ්ඩි අත්කර ගැනීම පිළිබඳ ප‍්‍රවෘත්තියට පාලම මත සිට ඒ ගැන කිව්වේ විජිත් සමන්ත කියලා සොල්දාදුවෙක්. ඔහු මේ සටනේ වීරයකු මෙන් සටන් කළා. ඒත් මුලංකාවිල් සටනේ දී ඔහු මියගියා. ඔහු ගැන වොයිස් කට් එක ගැන මතක් වෙනවිට මට ඒක දැඩිව දැනෙනවා.
කලින් වන්නියට භාණ්ඩ රැගෙන එන ලොරි නතර කළ ස්ථානය වුණේ පාලම්පිඩ්ඩි. මේ ප‍්‍රදේශය ඉතාමත් සුන්දරයි. ශ‍්‍රී ලංකාවේ දකින්න පුලුවන් හොඳම දිය දහරා එහි දී අපි දුටුවා. දිය කඳුරු ඇළ මාර්ග ඒවායේ පිහිනා යන අලංකාර මසුන් වගේ ම දියකාවන්ගේ, මුවන්ගේ සුන්දර දර්ශන අපි ඉදිරිපත් කළා.
Wednesday, May 17, 2017
එල්.ටී.ටී.ඊ කොදු නාරටි කැඩුණු තමිල් සෙල්වම්ගේ මරණය
Tags
# විශේෂාංග පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
විශේෂාංග පුවත්
Labels:
විශේෂාංග පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment