'ජන හදවත්වලින් අපිව ඉවත් කරන්න බෑ' - රෝහිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, August 19, 2016

'ජන හදවත්වලින් අපිව ඉවත් කරන්න බෑ' - රෝහිත

'ජන හදවත්වලින් අපිව ඉවත් කරන්න බෑ' - රෝහිත
තමන් තනතුරුවලින් ඉවත් කරනු ලැබුව ද ජනතාවගේ හදවත්වලින් ඉවත් කළ නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේ ඒකාබද්ධ විපක්ෂය විසින් අද (19) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තනතුරුවලින් ඉවත්කරමින් දිගින් දිගටම පක්ෂයේ අසාධාරණකම්වලට ලක්කරන විට තමන් අැතුළු පිරිස තව තවත් ජනතා හදවත් තුළට ඇතුළුවන බවයි.

වර්තමාන ආණ්ඩුව ආරම්භයේදී යහපාලනය නමින් මුද්දරයක් හෝ ගැසීමට මුදල් වියදම් නොකරන බව කියා සිටියද අද දවසේ මාතර පැවැත්වෙන රැස්වීමට අදාළව ඊයේ දිනයේද ටෙලිවිෂන් නාලිකාවල වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය වූ බවත්, 'මෙය මුදල් ගෙවා ප්‍රචාරණය කරන ලදී' යනුවෙන් එහිදී පළවූ බවත් කියාසිටි මන්ත්‍රීවරයා අවධාරණය කළේ එම මුදල් කොපමණදැයි ගණනය කොට ජනතාවට හෙළිදරව් කළ යුතු බවටයි.

මෙම මාධ්‍ය හමුවේදීම අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ තම පවුල කිසිදාක ශ්‍රීලනිපය හැර නොගිය බවත් තම පවුලේ උදවිය ශ්‍රීලනිපයේ දේශපාලනය කරනවිට වර්තමානයේ පක්ෂයේ මහලේකම් ලෙස කටයුතු කරන පුද්ගලයා ඉතා පොඩි එකෙකු බවත් මෙවන් බොළඳ කටයුතු සිදුකිරීම තුළින් තම දේශපාලනය නවතා දැමිය නොහැකි බවත් ය.

එමෙන්ම මෙලෙස තනතුරු ඉවත් කිරීමෙන් පමණක් නොව මුහුණට කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ ද තමන් දේශපාලන වශයෙන් ගනු ලබන ස්ථාවරයන් වෙනස් නොවන බව ද ඇය කියා සිටියාය. ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ඉදිරි වසර දෙක ඇතුළත නැවත බලය ලබාගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ තම කණ්ඩායම සූදානම් බවයි.

මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වුණු ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ තම සංවිධායක ධූරය ඉවත්කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ සභාපතිවරයාට හා ලේකම්වරයාට තම ස්තූතිය පළකරන බවයි. පක්ෂයේ තනතුරු දරමින් සිටියදී පක්ෂය දියකර හැරීමක් සිදුවන බැවින් එම පාප කර්මයට තමාට දායකවිය නොහැකි බැවින් කල් තියාම පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම ඉතා හොඳ කාරණයක් බව ඔහු මෙහිදී කියාසිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad