මීට වසර 4කට පෙර ලංගම බස් රථයකින් ගමන් කරමින් සිටියදී පෞද්ගලික බස් රථයක ගැටී සිදුවූ රිය අනතුරකින් හිස අභ්‍යන්තරයට තුවාල වීමෙන් ඇතිවූ ආබාධ හේතුවෙන් මේ වන විට කුඩා දරුවකුගේ ගති පැවැතුම් සහිත තත්ත්වයට පත්වී සිටින සරසවි සිසුවකු වූ තම පුතාට වගකිව යුතු කිසිවකුගෙන් මෙතෙක් සාධාරණයක් ඉටුවූයේ නැතැයි දරුවාගේ පියා වන රිකිල්ලගස්කඩ පදිංචි සරත් අබේසේකර මහතා පවසයි.
මෙම රිය අනතුර 2012 වසරේ ජනවාරි 14 දින අලුයම 4.45ට පමණ වරකාපොළ දුම්මලදෙණිය ප්‍රදේශයේදී සිදුව ඇත. රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුවකු ලෙස පරිගණක ඉන්ජිනේරු විද්‍යාව හදාරමින් සිටි ලසිත් අබේසේකර සිසුවා විශ්වවිද්‍යාලයේ සිට නිවෙස බලා එමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබිණි.
ඔහු ගමන්ගත් අංගොඩ ඩිපෝවට අයත් ලංගම බස් රථය පෞද්ගලික බස් රථයක් හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබුණු අතර එම අනතුරින් මගීන් දෙදෙනකු එම ස්ථානයේදීම මියගොස් 21 දෙනකු තුවාල ලබා තිබූ බව පවසන පියා මෙසේද කියයි. අනතුර වෙච්චි තැන වැටිලා තිබ්බ පුතාගේ බෑගය අහුලාගත්තු මහත්තයෙක් අපිට මේ ගැන ටෙලිෆෝන් කරලා කිව්වා.
අපි වරකාපොළ රෝහලට ගියාට පස්සේ දැනගත්තා පුතා වරකාපොළින් කෑගල්ලටත් කෑගල්ලෙන් මහනුවර මහ රෝහලටත් මාරු කරලා යවලා කියලා. ඒ වෙන කොට දෙකත් පහුවෙලා. මට එතැනදී දැනගන්න ලැබුණු විදියට පිටතින් කිසිම තුවාලයක් පෙනෙන්න නොතිබුණාට මගේ පුතා සිහි නැතිව ඉඳලා තියෙන්නේ.
ත පය කැඩිලා හිටපු අය පවා කොළඹ ජාතික රෝහලට යවා තිබුණත් මගේ පුතා යවලා තිබුණේ වරකාපොළ රෝහලට. මහනුවර මහ රෝහලට අරගෙන ගියාට පස්සේ තමයි හිස ඇතුළට ලේ බැහැලා කියලා ඔපරේෂන් කෙරුවේ. ඊට පස්සේ මාසයක්ම දැඩි සත්කාර ඒකකයේ හිටියා. ඊළඟට 74 වාට්ටුවේ මාස 8ක් හිටියා. ඒ කාලය පුරාම පුතාට බට දාලා දියර ආහාර තමයි දුන්නේ. දියර ආහාර දෙන හැටි අපිට කියලා දීලා පුතාගේ ටිකට් කැපුවා.
ඊට ටික දිනකට පස්සේ බට ගලවන්න රිකිල්ලගස්කඩ ඉස්පිරිතාලෙට ගියාට පස්සේ එතැන හිටපු මිසී කෙනෙක් තමයි දරුවා දිගන පුනරුත්ථාපන රෝහලට ගෙනිච්චොත් හොඳයි කිව්වේ. ඒ රෝහලෙන් අවුරුදු 1යි මාස 2ක් නැවැතිලා ප්‍රතිකාර ගත්තා. ඒ මුළුකාලෙම මම දරුවගේ ඇඳ ළඟ. එයාගේ අම්මා කාමරයක නතර වෙලා තුන්වේලටම දියර ආහාර හදාගෙන එනවා. අනෙක් දරුවෝ දෙන්නා ගෙදර දාලා ඇවිත් දුක්වින්දේ දරුවා සනීප කරගන්න පුළුවන් වෙයි කියලා.
ඒ ඉස්පිරිතාලේ හිටපු මහත්තුරු දෙවිවරුන් වගේ කරුණාවන්තයි. දරුවට ඇවිදල යන්න එන්න පුළුවන් විදියට සනීප කරල දුන්නත් දැන් මෙයා නොදරුවෙක් වගේ. හැඟීම් දැනීම් තේරෙන්නෙ නෑ. බඩගිනියි කියන්නවත් දන්නෙ නෑ. අම්ම අකුරු කියලා පෙන්නලා කියල දුන්නොත් ඒක කියනව ඇරෙන්න විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්ත මගේ දරුවට අකුරු මතක නෑ.
එයා ඉගෙන ගත්තු රුහුණ විශ්වවිද්‍යාලේ දරුවෝ ටිකට් එකක් එකක් ගහල රුපියල් ලක්ෂ 3ක් එකතු කරලා ගෙනත් දුන්නා. බෙහෙත්වලට වියදමට ගන්න කියලා කථීකාචාර්ය මණ්ඩලය මුදලක් එකතු කරලා දුන්නා. එයා ඉගෙන ගත්තු පොරමඬුල්ල ඉස්කෝලෙන් සල්ලි එකතු කරල දුන්නා. ප්‍රදේශයේ ව්‍යාපාරිකයෝ, අපේ නෑදෑයෝ උදවු කළා.
ඒත් හැම කෙනකුටම අපිට දිගින් දිගටම උදවු කරන්න බෑ. අපිට දැන් දරුවා හොඳ වෛද්‍යවරයකුට පෙන්වන්න ඕනෑ. අපිට විශ්වාසයක් තියෙනවා මෙහෙදී හෝ පිටරටකදී සැත්කමක් කරල දරුවා හිටපු තත්ත්වයට ගන්න පුළුවන් වෙයි කියලා. දරුවට වන්දි මුදලක් ලැබෙයි කියලා අපි අවුරුදු 4ක් තිස්සේ බලාගෙන ඉන්නවා. අනතුර වෙන වෙලාවේ පුතා ගමන් කරපු ලංගම බස් එක අයිති අංගොඩ ඩිපෝවට කතා කළත් කිසිම වැඩක් වුණේ නෑ.
පෞද්ගලික බස් ඩ්‍රැයිවර්ට නින්ද ගිහින් මෙම අනතුර වුණා කියලා පරීක්ෂණවලදී කියවුණත් තිහාරියේ පදිංචි ඒ බස් හිමියන්ගෙන්වත් සාධාරණයක් වුණේ නෑ. ඒ අයිති කෙනා දැන් මැරිලා. නඩුවට එන්නේ රක්ෂණ සමාගමක්. ඒත් තාම විසඳුමක් නෑ. තවත් පරක්කු වුණොත් දරුවා සනීප කරගන්නම බැරි වෙයි කියන ගින්දර මවුපියන් වන අපිට තියෙන්නේ.
ඒ නිසා වගකිවයුත්තන්ගේ කාරුණිකව අවධානය මේ කෙරේ යොමු කරලා දරුවාට සාධාරණයක් ඉටු කරන්න කියලයි අපි ඉල්ලන්නේ” ‘පුබුදු’ නුවරඑළිය පාර, රිකිල්ලගස්කඩ යන ලිපිනයේ පදිංචි සරත් අබේසේකර මහතාගේ නිවෙසේ දුරකතන අංකය වන 081-2365461 මෙහි සටහන් කෙළේ මෙම සිසුවා සුවකර ගැනීමට උපකාරයක් කිරීමට හෝ සුවකර දීමට යම් කෙනෙක් ඉදිරිපත් වන්නේ නම් එම අයගේ ප්‍රයෝජනය පිණිසය.
හාවාඑළිය – චන්ද්‍රසිරි මහගම
Friday, August 19, 2016
අනතුරෙන් පස්සේ මාස 8ක් බටයකින් ආහාර ගත්, අද මනසින් ළදරුවකු වූ ඉන්ජිනේරු සිසුවා
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)



No comments:
Post a Comment