වන අලි 4ක් දුම්රියේ ගැටී මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 18, 2016

වන අලි 4ක් දුම්රියේ ගැටී මරුට

වන අලි 4ක් දුම්රියේ ගැටී මරුට (VIDEO)
මන්නාරම මඩුපාර හා සෙට්ටිකුලම යන දුම්රිය ස්ථාන දෙක අතරදී දුම්රියක ගැටීමෙන් වන අලින් 04දෙනෙකු ඊයේ (17) අලුයම මියගොස් තිබේ.

මෙම වන අලින් 04 දෙනා මියගොස් ඇත්තේ තලෙයිමන්නාරමේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙනි. මේ මාසයේ ගත වූ දින 16 ඇතුළත දුම්රියේ ගැටීමෙන් වන අලින් 06 දෙනෙකු මියගොස් ඇති අතර තවත් වන අලින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මැදවච්චිය පුනෑව පළාතේදී හා කවුඩුල්ල පළාතේදී ඇතින්නක හා වන අලියෙකු දුම්රියට හසු වී මිය ගිය අතර තවත් වන අලින් දෙදෙනෙකු තුවාල ලැබුවේ ද පසුගිය දින 16 ඇතුළතදීය. වනජීවී අධ්‍යක්ෂක ජනරාල් ඩබ්ලිව්. එස්. කේ. පතිරත්න මහතා ප්‍රකාශ කළේ සාමාන්‍යයෙන් මිනිසුන් රිය අනතුරුවලට ගොදුරු වී මිය යනවා සේම වන අලින් ද දුම්රියවල ගැටීමෙන් මරුමුවට පත් වන බවයි.

මෙම තත්ත්වය මඟහරවා ගැනීම පිණිස දුම්රිය එන්ජින් වල දුම්රිය රියදුරන් සමග පළපුරුදු වනජීවී නිලධාරීන් යැවීමට පියවර ගන්නා බව ඔහු පැවසීය. ඊට අමතරව රාත්‍රී කාලයට අදුර විනිවිද දැකිය හැකි විශේෂිත කැමරා සෑම දුම්රියකම සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කොට පියවර ගන්නා බව ද සදහන් කළේය.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ පලපුරුදු වනජීවී නිලධාරීන් දුම්රිය රියදුරන් සමග ගමන් කරන්නේ පොළොන්නරුව වැලිකන්ද වැනි පළාත්වල ධාවනය වන දුම්රිය සමග පමණක් බවයි.

උතුරු පළාතේ දුම්රිය එන්ජින් වලද පලපුරුදු වනජීවී නිලධාරීන් යැවීමට වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කරණ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. දැනට ශී ලංකාවේ කිසිම දුම් රිය එන්ජිමක රාත්‍රී කාලයට අදුර විනිවිදව දැකිය හැකි විශේෂ කැමරා සවිකොට නොමැති බවත් එම කැමරා ඉතා මිල අධික බැවින් ඒවා සවි කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඔහු සදහන් කළේය.

කෙසේ වෙතත් දුම්රිය වල වැදී මේ රටේ වන අලි සම්පත විනාශ වීම කෙරෙහි දුම්රිය දෙපාර්තම්න්තුව ඉතා සංවේදීවන බවත් ඉතාම ඉක්මනින් මේ විනාශය වළක්වා ගැනීමට පියවර ගන්නා බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad