මාලඹේ වෙද සිසුන් රජයේ වෛද්‍ය තනතුරු ඉල්ලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

මාලඹේ වෙද සිසුන් රජයේ වෛද්‍ය තනතුරු ඉල්ලයි

මාලඹේ වෙද සිසුන් රජයේ වෛද්‍ය තනතුරු ඉල්ලයි
මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පිටවන වෛද්‍ය උපාධිධාරීන් රජයේ වෛද්‍යවරුන් ලෙස බඳවා ගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) නීතිපතිවරයාට උපදෙස් ලබා දී තිබේ.

පසුගිය 2014 වසරේ 10 වෙනි මස 11වෙනි දින වෛද්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර් ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ සෞඛ්‍ය සේවා සටහන් වෙනස් කිරීමේ හැකියාවක් තිබේ ද යන්න සොයා බලන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ.‍

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම් සිදු කරනු ලැබුවේ තමන් ද රජයේ වෛද්‍යවරුන් ලෙස බඳවා ගන්නා ලෙස ඉල්ලා මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් 03දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.

අදාළ පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා සහ විනිසුරු අනිල් ගුණරත්න මහතා යන මහත්වරුන් හමුවේ කැඳවන ලදී. එම පෙත්සමෙහි සඳහන් වන්නේ වෛද්‍ය උපාධිධාරීන් රාජ්‍ය සේවයට අන්තර් ග‍්‍රහණය කිරීම පිළබඳව වූ සෞඛ්‍ය සේවා සටහන් 2014 ඔක්තෝබර් 11 වැනිදා නිතුත් කර ඇති අතර රාජ්‍ය විශ්ව විද්‍යාල සහ විදෙස් විශ්ව විද්‍යාල උපාධිධාරීන් ඇතුළත් කර ගැනීමට අදාළ කරුණු එහි ඇතුළත් වන අතර උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතන ඊට අදාළ නොවන බවය.

නමුත් උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතනයක් වන සයිටම් ආයතනයේ උපාධි ලබන උපාධිධාරීන්ට මෙරට රාජ්‍ය සේවයට ඇතුළුවීමේ අවස්ථාව මෙම සෞඛ්‍ය සේවා සටහනට අනුව අහිමිවන බව ද එහි සඳහන් වේ.
එම නිසා රජය විසින් නිකුත් කර ඇති එම සෞඛ්‍ය සේවා සටහන බල රහිත කර තමන්ට ද රාජ්‍ය සේවයට ඇතුළු වීමේ අවස්ථාව ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මෙම කරුණු සලකා බැලූ අධිකරණය එම පෙත්සම ලබන ජූලි මස 05 වැනි දින යළි කැඳවීමට නියම කොට ඇත. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතීඥ ෆරීඩා බාරි මහත්මිය ද පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ පාලිත ප‍්‍රනාන්දු මහතා ද පෙනී සිට බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad