ආණ්ඩු පක්ෂය දෙකඩවේ? - උතුරු මහ ඇමතිගෙන් ඇමතිට එරෙහිව පරීක්ෂණයක්   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 10, 2016

ආණ්ඩු පක්ෂය දෙකඩවේ? - උතුරු මහ ඇමතිගෙන් ඇමතිට එරෙහිව පරීක්ෂණයක්  

උතුරු මහ ඇමති සී.වී විග්නේෂ්වරන් හා උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ සිවක්චානම් අතර හටගත් අර්බුදයක් නිසා උතුරු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය දෙකඩ වී ඇතැයි ආරංචි මාර්ග පවසයි.

උතුරු පළාත් සභා මන්ත්‍රීන්ගෙන් සමන්විත කමිටුවක් ගැන  සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයකට එරෙහිව මහ ඇමතිවරයා අදහස් ප්‍රකාශ කිරීමත් සමග දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබේ.

ඒ සමගම පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී සභාපතිට පක්ෂව හා මහ ඇමතිට පක්ෂව දෙපිළ බෙදී වාග් හුවමාරුවක් කර ගත් බව වාර්තා වේ.
මේ අතර උතුරු පළාත් සභා කෘෂිකර්ම අමාත්‍ය පි. ඓගරනේශන් මහතාගේ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මැදිහත්වි  වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඊයේ(09) උතුරු පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ ඒකමතික කැමැත්ත මත යෝජනාවක් සම්මත කර ගැනු ලැබීය.

උතුරු පලාත් සභාවේ 44 වන සැසිවාරයේදී මෙම යෝජනාව සම්මත වූ අතර මෙහිදී උතුරු පලාත් කෘෂිකර්ම අමාත්‍යවරයාට එල්ල වූ ප‍්‍රධාන චෝදනාව වූවේ ඉරණමඩු ජල ව්‍යාපෘතිය මරුදන්කේනි මුහුදු ජලය පානීය ජලය කිරීමේ ව්‍යාපෘතිය ඇතුලූ ව්‍යාපෘති කිහිපයක වියදම් පලාත් සභාවට නොදන්වා තනි කැමත්ත මත සිදු කිරීම ඇතුලූ තවත් චෝදනාවන් කිහිපයක් මුල් කරගෙනය.

ඊට අමතරව වවුනියාව දිස්ති‍්‍රක් උතුරු පළාත් සභා මන්තී‍්‍ර ජි.ටි.ලිංගනාදන් මහතා විසින් උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පි.ඓගරනේශන් මහතාගේ කි‍්‍රයාවන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පළාත් සභාව වෙත යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. යෝජනාව ඉදිරිපත් කරමින් ලිංගනාදන් මන්තී‍්‍රවරයා පැවසූවේ පළාත් සභාව පිහිටුවා වසර තුනක කාලයක් ගතවුවද පළාත් සභා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා වවුනියාව දිස්ති‍්‍රක්කයේ කෘෂිකාර්මික අංශයේ දියුණුව වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් නොලැබි ඇති බවයි.

වවුනියාව දිස්ති‍්‍රක්කයේ වැව්, ඇළවේළි විශාල ප‍්‍රමාණයක් වල් බිහිවි ඇති අතර, අදාළ වැව් හා ඇළවේලි ප‍්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් පළාත් සභා කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා සිදු වි නොමැති බවටත්, වවුනියාව දිස්ති‍්‍රක්කය ඇතුළු උතුරු පළාතේ අනෙකුත් සෑම දිස්ති‍්‍රක්කයක්ම කෘෂිකර්මය පදනම්ව පවතින අතර පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා අදාළ දිස්ති‍්‍රක්කයන්ගේ මන්තී‍්‍රවරුන්ගේ ඉල්ලීම් කිසිවක් ඉටුකිරීමට කටයුතු කොට නොමැති බවද ලිංගනාදන් මහතා පැවසුවේය.

මන්තී‍්‍රවරයා වැඩිදුරටත් පැවසූවේ කෘෂිකර්ම අමාත්‍යවරයා සිය අභිමතය මත පමණක් කටයුතු කරන අතර, අමාත්‍යාංශයේ ඇතැම් කි‍්‍රයාවන් නීති විරෝධීව සිදුවන බවට ආරංචි ලැබි ඇති බැවින් පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි.

වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad