මහින්ද නව පක්ෂයකින් මහ මැතිවරණයට එන ලකුණු  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

මහින්ද නව පක්ෂයකින් මහ මැතිවරණයට එන ලකුණු 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම ශ්‍රීලනිපයෙන් හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර වෙනත් පක්ෂයකින් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා නාමයෝජනා සකස් කිරීමට කටයුතු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ කණ්ඩායමේ පිරිස් එකම ලැයිස්තුවකින් තරග කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡා බිඳ වැටී ඇතැයිද මහින්ද පාර්ශ්වයේ ආරංචි මාර්ග පවසයි.

එකම ලැයිස්තුවකින් තරග කරන්නේ නම් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු පිරිසකට නාමයෝජනා නොදීමේ කොන්දේසියක් ජනපතිගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇති බවත් ඊට හිටපු ජනපතිගේ පාර්ශ්වය විරුද්ධ වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව වෙනම ලැයිස්තුවකින් තරඟ කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් මීට පෙර අප කළ විමසීමකදී අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයාට අගමැති අපේක්ෂකත්වය කිසිසේත් නොලැබෙන බවත් නාමයෝජනා නොලැබෙන බවත්ය.

කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දීමට යොමු වුවහොත් තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබීමේ අවදානමක් මතුව ඇති බැවින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මන්ත්‍රීවරුන් දෙගිඩියාවකට පත්ව ඇතැයි වාර්තාවේ.

මේ හේතුවෙන් ඊයේ(01) දිනයේ දී මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට පැමිණෙන බව ප්‍රකාශයට පත් කරන අවස්ථාවට පැමිණ සිටි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබේ.  හෙට (03) වන විට ශ්‍රීලනිප අපේක්ෂකයන් තෝරාගැනීමේ කාර්යය අවසන් වන හෙයින් මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව සිටින බව පෙන්වීම තමන්ට අවාසියක් බව බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වී තිබේ. 

මේ නිසා ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා ලබා ගැනීම මූලික කොට සලකන බව වාර්තාවේ. මේ අතර ඊයේ (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගි කිරීම වෙනුවෙන් පත් කළ කමිටුවේ වාර්තාව ජනපතිට බාරදී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad