ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව 9 වැනිදා නැවත රැස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව 9 වැනිදා නැවත රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව නැවත ලබන 09 වැනි දා පෙ.ව. 10.00ට කතානායක කාර්යාලයේදී රැස්වීමට තීරණය කර තිබේ. 

පසුගිය අප්‍රේල් මස සම්මත කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව පළමු වරට පසුගිය 03 වැනිදා පෙ.ව. 10.00 ට හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක කාර්යාලයේදී රැස්විය. 

කතානායක චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සෙසු පක්ෂ නියෝජනය කරමින් විජයදාස රාජපක්ෂ, ජෝන් සෙනෙවිරත්න, ආර්. සම්බන්ධන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මෙම අවස්ථාවට සහභාගී වුහ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම උදෙසා 17 වන සංශෝධනය යටතේ පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියා පටිපාටිය අධ්‍යයනය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබේ. 

ස්වාධින කොමිසම් පිහිටුවීම කඩිනම් කිරීම සඳහා කමිටු සාමාජිකයින් පත් කිරීමේ ක්‍රමවේදය හා නිර්ණායක අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවයද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තාවකාලික මහලේකම් ධුරයට පත් කිරීමට සභාව තීරණය කළ බව කතානායක මාධ්‍ය ප්‍රකාශක අංශය විසින් නිවේදනය කර තිබේ.

සිවිල් මහජන නියෝජිතයන් තිදෙනෙකු පත් කිරීම සඳහා අවශ්‍ය නීතිපති උපදෙස් ගැනීමට ද මෙම සභාව තීරණය කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව මසකට දෙවරක් රැස්විය යුතු අතර ඒ අනුව මීළඟ රැස්වීම ජුලි 09 වන දා පෙ. ව. 10.00 ට කතානායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad