සරණට රට ගමන් තහනම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, February 3, 2015

සරණට රට ගමන් තහනම්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කරමින් සිය හිතවතුන්ගේ වාහන ලොතරැයි මණ්ඩලයට කුලී පදනම යටතේ යොදා ගනිමින් කෝටි ගණන් මුදලින් රජයට පාඩු කළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තාවකාලිකව තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (2) ආගමන විගමන පාලකවරයාට දැනුම් දුන්නේය.

අල්ලස් කොමිසම විසින් චෝදනා 104 ක් යටතේ සරණ ගුණවර්ධන මහතාට අධිකරණයේ ගොනු කරන ලද නඩු කිහිපයක් සළකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසින් ඊයේ(2) චෝදනා 50ක් යටතේ තවත් නඩුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කරනු ලැබූ අතර ඉකුත් 30 වන දින ද කොමිසම විසින් සැකකරුට විරුද්ධව චෝදනා 54ක් යටතේ නඩුවක් අධිකරණය හමුවේ ගොනු කෙරිණ.

මීට අමතරව අංක 15/3, විජයරාම පාර, ගම්පහ පදිංචි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති බමුණුආරච්චිපතිරණනැහැලගේ සරණ ගුප්ත ගුණවර්ධන මහතා වෙත අධිකරණය මඟින් මේ මස 11 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කෙරිණ.

වර්ෂ 2006/08/07සිට 2007/06/31 දරන කාලයේ දී රජයේ සේවකයකු ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සේවය කරමින් ආණ්ඩුවට අයුතු සහගත ලෙස නීතිවිරෝධී ලෙස පාඩු සිදු විය හැකි බව දැන දැනම සෘජුව හෝ වක්‍රව හිතවතුන්ගේ වාහන කුලී පදනම යටතේ මණ්ඩලයට ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් චෝදනාව සිදු කර ඇති බව සඳහන් කරමින් කොමිසම සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණ.

ජයසූරියආරච්චිගේ සුනීතා ජයසූරිය, සමරසිංහ අරණායක ලියනගේ ප්‍රේමසිංහ, ජයසිංහආරච්චිගේ වසන්ත නිහාල්, සරුවබණ්ඩාරගේ ශ්‍යාමල් නිලන්ත කුමාර, රණතුංගආරච්චිගේ රසික රුවන් කුමාර, කරුණනායක අතුකොරළලාගේ ඩෙවිට් ගුණවර්ධන, සමරසිංහ අත්තනායකලියනගේ ප්‍රේමරත්න, අධිකාරිආරච්චිගේ ඉන්ද්‍ර කුමාරි අධිකාරි, රත්නායකමුදලිගේ අනුර රත්නායක, පතිරාජ අප්පුහාමිලාගේ තිලකරත්න මුදන්නායක, චානක රසින්ද්‍ර සේනාතිලක, විජේරත්න ආරච්චිගේ නීල් ශාන්ත, ඈන් එන්ටප්‍රයිසස් , හෙට්ටිආරච්චිගේ ෆිලික්ස් පෙරේරා, විනාරි ලක්වන්ති හෙනරත් හෙට්ටිආරච්චි යන අයට හිමි වාහන සැකකරු මෙසේ ලොතරැයි මණ්ඩලය වෙත යොදවා ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ පවසා සිටියේය.

රුපියල් 4,959,209.00 ක්, 14,556,000.00 ක් හා 117,031,091.00 මාදිවෙල නිවෙස කුලී මුදල් වශයෙන් 674,434.50ක් ද අත්තිකාරම් වශයෙන් රුපියල් 1,808,000 ක් ද අලුත්වැඩියාවට 52,985ක් හා නොතාරිස් ගාස්තු වශයෙන් 39,600ක මුදලක් යෙදවීමට ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් යෙදවීමෙන් දුෂණය චෝදනාව සිදු කර ඇති බවට පැමිණිල්ලේ සඳහන්ය.

මීට අමතරව සිය බිරියට හිමි නැදිමාල නිවෙස තමන්ගේ බව දැන දැනම එම නිවස කුලී පදනම යටතේ මණ්ඩලයට ගැනීමට කටයුතු කරමින් 1997 අංක 20 සංවර්ධන ලොතරැයි පනතේ 3(2) වගන්තිය උල්ලංඝනය කර ඇති බවට ද කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වා තිබිණ.

සාක්කිකරුවන් 26ක් හා නඩු භාණ්ඩ 21 ක් යටතේ ඊයේ (2) අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ගනේෂ් ආර්.ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණ. අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා සැකකරුට විදේශ ගමන් තාවකාලිකව තහනම් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කර සැකකරුට නොතිසි නිකුත් කළේය.

දිනමිණ ඇසුරෙනි

No comments:

Post a Comment

Post Bottom Ad