පිටසක්වල ජීවය ගැන මුලින්ම කිවුවේ බුදුන් වහන්සේ.. බටහිර විජ්ජාවට බුද්ධ දර්ශණය පරද්දන්න බෑ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

පිටසක්වල ජීවය ගැන මුලින්ම කිවුවේ බුදුන් වහන්සේ.. බටහිර විජ්ජාවට බුද්ධ දර්ශණය පරද්දන්න බෑ..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙල්යායකට වැටුණු උල්කාපාත කොටස් අපේ රටේ පර්යේෂකයින් පර්යේෂණයකර පිටසක්වල ජීවීන්  සිටින බවට පළමු සාක්ෂිය සොයොගෙන ඒ බව තහවුරු කළ පසු එක්තරා ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක සුදු මහත්වරුන් පිරිසක්  ලංකාවට පැමිණ එම උල්කාපාත කැබලි කොටස් හා ඒ බව තහවුරු කළ පර්යේෂණ වාර්තා ද සමඟ සියල්ල අරගෙන යෑමට උත්සාහා කළ බවත්  බුදුන් වහන්සේ දේශනාකළ බෞද්ධ දර්ශනයේ මහා සත්‍ය බටහිර විජ්ජාවන්ට යටපත් කිරීමට නොහැකි වී තිබෙන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ හංවැල්ල, ජල්තර ධම්මික යෝගාශ්‍රමාධිපති, කම්මට්ඨානාචාර්ය, මුළු දිවයිනටම සාම විනිසුරු අතිපූජ්‍ය කොරතොට විමල ධම්ම මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී කාශ්‍යප  වංශාලංකාර ශාසන සෝභන ගෞරව නාම සම්මුතිය සහිත හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිඳුම් ලැබීම නිමිත්තෙන් පැවැත්වුණු උපහාර පූජා මහෝත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.

මෙම උපහාර පූජා මහෝත්සවය පසුගියදා ජල්තර ධම්මික යෝගාශ්‍රමයේදී පැවැත්විණ. මෙම උපහාර පූජා මහෝත්සවය විහාරාධිකාරී, ශාස්ත්‍රවේදී කරඳන කල්පාණ ධම්ම හිමිගේ අනුශාසනා පරිදි සිදුකෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “   බුද්ධාගම කියලා කියන්නේ  අපේ හිත ගැන අපට කියලා දුන්නු විද්‍යාව විතරක් නෙවෙයි විශ්වය ගැන කියලා දුන්නු  විද්‍යාව. ලෝකයේ පළමු වතාවට පිටසක්වල ජීවීන්  සිටිනවා කියන පළමු සාක්ෂිය ලැබුණේ ශ්‍රී ලංකාවෙන්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙල්යායකට උල්කාපාත කොටස් වැටුණා. 

අපේ පර්යේෂකයින් එහෙ ගිහිල්ලා පර්යේෂණ කරලා උල්කාපාත කොටස්වල ඒක සෛල ජීවීන් සිටින බව සොයාගත්තා. පර්යේෂණ කරලා ඒ බව ඔප්පු කළා. ප්‍රධාන ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක සුදු ජාතික මහත්වරුන් වහාම ලංකාවට ආවා. ඒ අය මේ සියල්ල අරගෙන යන්න උත්සාහ කළා. ඒ උල්කාපාත කැබලි සියල්ලට  පර්යේෂණ වාර්තා සමඟ අරගෙන යන්න උත්සාහ කළා. 

ඇයි ඒ? විශ්වයේ ජීවීන් සිටින බව සනාථ වුණාම මැවුම්වාදය බොරු වෙනවා. පිටසක්වල ජීවීන්  සිටිනවා කියලා මුලින්ම ප්‍රකාශ කරලා  තියෙන්නේ අභ්‍යවකාශට ගිය අයද? ලෝකය ගැන මහා පර්යේෂණ කරන අයද? නැහැ. බුදුන්වහන්සේ. ඒ නිසා දවසින් දවස ඔය කියන බටහිර විජ්ජාවටත් වහන්න බැරිවෙලා තියෙනවා මේ  බෞද්ධ දර්ශනය ඇතුළේ තිබෙන මහා සත්‍ය. 

ඒ අයට උල්කාපාත කොටස් ටික  අරගෙන යන්න අපේ විද්‍යාඥයෝ ඉඩ දුන්නේ නැහැ. ඊට පසු දෙවන සාක්ෂිය රුසියාවට ආවා. අපේ රට පිහිටලා තිබෙන ආකාරය අනුව මොනවාහරි වැටෙනකොට වැඩියෙන් වැටෙන්න ඉඩ තිබෙන තැනක් තමයි අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශ. රුසියාවේ  එක්තරා ප්‍රාන්තයකටත් උල්කාපාත කොටස් වැටුණා.  

දැනට අවුරුද්දකට දෙකකට කලින් පුවත්පත් වල පළ වෙලා තිබුණා රුසියාවේ එක් ප්‍රාන්තයකට උල්කාපාත කොටස් වැටිලා ගොඩනැගිලිවලට පවා හානි වෙලා තිබුණා කියලා. ඒ උල්කාපාත කොටස්වලත් මේ ලක්ෂණ සහිත ජීවීන් සිටි බව තහවුරුවෙලා තිබුණා. රුසියානු විද්‍යාඥයින් සූදානම් වුණා  පිටසක්වල ජීවීන් සිටින බවට ලෝකයේ පළමු සාක්ෂිය තමන් සතුව තිබෙන බව අනාවරණය කරන්න. 

නමුත් ප්‍රධාන ජාත්‍යන්තර අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයක් රුසියානු විද්‍යාඥයින්ට කිව්වා, ඒක ලංකාවට තමයි මුලින්ම හමුවෙලා තියෙන්නේ ඒ නිසා ඔබලා එහෙම ප්‍රකාශ කළාට වැඩක් නැහැ  කියලා. ඉන්පසු රුසියානු විද්‍යාඥයින් එය ප්‍රචාරය කරන එක  අතහැර දැම්මා. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ එක අතකින් බටහිර විද්‍යාවට වඩා වෙනස් විද්‍යාවක්. 

එක අතකින් අපේ හදවත හඳුනාගැනීමේ ජීවන දර්ශනයක්. මුළුමහත් පැවැත්ම සඳහා ගොඩනැගුණු දහමක්. ඒ නිසා තමයි මේ භූමිය අනෙක් රටවලට වඩා වෙනස් වෙන්නේ.අවුරුදු 30 ක යුද්ධයක් තිබුණු රටක් බෙදන්න, විනාශකරන්න ආසන්නවෙලා අන්තිම තත්ත්පරයෙන් ආපස්සට හැරිලා මේ රට බේරගන්න පුළුවන්කම ලැබෙන්නේ අභියෝගය භාරගන්න ලක්ෂ ගණනින් හමුදාවට බැදුනේ, ආත්ම පරිත්‍යාගශීලී ගුණය  අපේ ජාතිය තුළ නිදන්ගතව නිර්මාණය වෙන්නේ මේ මහා ශිෂ්ටාචාරයේ බෞද්ධ හැදියාවේ ප්‍රධානතම සාධකය නිසා. 

වෙනත් රටවල මරණය පෙනි පෙනී එහෙම හමුදාවට බැදෙන්නේ නැහැ. ඒ නිසා අපි ගමේ පන්සල, ගමේ පන්සලේ නායක හාමාදුරුවෝ, මුළුමහත් සංඝ සමාජයටම මහා සංඝරත්නය කියලා, ඒ මහා කියන වචනය දනවන අර්ථයෙන් අපි උන්වහන්සේලාව  අපේ ජීවිතවලට සමීප කරගන්නේ. ඒ මහා සංඝරත්නයේ පුරෝගාමීත්වය, අනුශාසනා, මහා සංඝරත්නයේ බලපෑම් සහගත මැදිහත්වීම ආදිය කොටගෙන තමයි, මේ රටත් ජාතියත් යම්කිසි ජයග්‍රහණයක් භුක්ති විදිනවා නම් ඒ ජයග්‍රහණය  ලැබිලා තියෙන්නේ. 

මේක විදේශ ආක්‍රමණිකයින්  දැක්කා. ඒ නිසා තමයි මහා සංඝරත්නය භේද භින්න කරන්න ඔවුන් බැලුවේ. සුදු අධිරාජ්‍යවාදී විදේශ ආක්‍රමණිකයින් බැලුවා මහා සංඝරත්නයත් සමඟ සමාජයේ තිබෙන බැඳීම කඩන්නේ කොහොමද කියලා. අද විදේශිකයින් කෙළින්ම ඒකට අවධානය යොමු නොකළාට විදේශිකයින්ට විකිණිනු සමහර කොටස් ඒ මහා සංඝරත්නය සතු පූජනීය බලය ඇතුළතින් හා පිටතින්  බිඳ වට්ටන්න විවිධ උත්සාහයන්වල යෙදෙනවා. ජාතිය භේද භින්න කරන්න විවිධ උත්සාහයන්වල නියැලෙනවා.

ජාතිය භේද භින්න කරලා නැවත අතීත අවධානම කරා මේ මව්පොළොව අරගෙන යන්න විවිධ කල්ලි කණ්ඩායම් උත්සාහා කරනවා. මේ රටේ මහා සංඝරත්නයේ පුරෝගාමීත්වය වෙනුවෙන් එන අභියෝග ජයගන්න අපේ ජාතියට පුළුවන්කම ලැබිලා තියෙනවා. 

ඒ මහා දැවැන්ත ඵෙතිහාසික  භූමිකාවක නියලුණු, අපේ මාතෘ භූමියේ ජයග්‍රහණයන්ගේ හා පැවැත්මේ  ප්‍රධාන සාධකය වුණු අපි සියලුදෙනාම ගරුකරන මහා සංඝරත්නය වෙනුවෙන් මේ මහනායක පදවියක් අපි  ගරුකරන ස්වාමීන් වහන්සේ නමකට පිරිණැමීම ඉතා වැදගත් කටයුත්තක්.  

එක අතකින් මහානායක පදවියෙන් උන්වහන්සේ මෙතෙක් ඉටුකරන ලද මහා ශාසනික සේවාව ඇගයීම  පමණක් නෙවෙයි මේ  බිමේ ජීවත්වන අපට නායකත්වය වඩ වඩාත් ලබාදීම සඳහා උන්වහන්සේව යොමුකිරීමත් මෙමඟින් සිදුවෙනවා. ඉතාම නිස්සරණධ්‍යාසයෙන් කැපවෙන ස්වාමීන් වහන්සේ නමක් හැටියට අපට තව තවත් විශාල ශාසනික සේවාවක් සිදුකිරීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

දකුණු ආසියානු කලාපයේ රටවල්වල එකමුතුව වන සාර්ක් සංවිධානයට අයත් ලේකම්  කාර්යාලයක් නේපාලයේ පිහිටා තියෙනවා. ඒ ලේකම් කාර්යාලයෙන් අධ්‍යනයක් කරලා දකුණු ආසියාතික රටවල්වල සමාජ ආර්ථික දත්ත පිළිබඳව එනම්, සාක්ෂරතාවයෙන්, සෞඛ්‍යයෙන්, පාරිසරික මැදිහත්භාවයෙන් යනාදී මානව ගුණාංග පිළිබඳව  සාර්ක් කලාපයේ හැම රටක්ම අධ්‍යනය කරනවා. එම දත්තවලට අනුව දකුණු ආසියානු කලාපයේ අනෙක් සෑම රටකටම වඩා සෑම අංශයකින්ම ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාව බවට අනාවරණය වෙනවා. 

සංවර්ධන දර්ශකවලින් වගේම අනෙක් බොහෝ බලපාන කරුණුවලදී එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සිටින්නේ ඉදිරියෙන්. විදුලිය ගෘහස්ථ පරිභෝජනය, ජලය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පාරිසරික සාධක ගැන සැළකිල්ල ගත්තත් එම වාර්තාවට අනුව අපි ඉදිරියෙන් සිටින්නේ. එම දියුණුව ලැබීමට හේතු පිළිබඳව විවිධ පිළිතුරු දැක්වූවත් ඒවායින් ආවරණය නොවන තවත් පිළිතුරක් තිබෙනවා. 

ඒ දකුණු ආසියානු කලාපයේ නිර්මල ථේරවාදි බුදුදහම  ආරක්ෂාවන ප්‍රධානතම ස්ථානය ලංකාව නිසා. ථේරවාදී බෞද්ධ සංස්කෘතිය ඇතුළේ ගොඩනැගෙන මනුෂ්‍යයා වෙනත් සංස්කෘතිවල ගොඩනැගෙන මනුෂ්‍යයින්ට වඩා වෙනස්. අපේ සිත සංවර කරගෙන යහපත වෙනුවෙන් අපිව පොළඹවන දහමක් බුදු දහම. පරිබාහිර ගුප්ත ආලෝකයක් පෙන්වලා අපිව අරගෙන යන දහමක් නෙවෙයි. 

ආලෝකය හෝ අඳුර සොයාගත හැක්කේ අපටමයි කියලා අපිව නඟාසිටුවන දහමක්. බාහිරින්  තිබෙන විශ්වාස බලාගෙන වත්පිළිවෙත් පමණක් පුරමින් යන දහමක් නොවෙයි. ඒ  නිසා එවැනි දහමකින් ගොඩනැගුණු ශිෂ්ටාචාරයක්, එවැනි දහමක් ඇසුරේ වැඩුණු සභ්‍යත්වයක්, මානව චර්යාවක් යන සියල්ලන්ගේම එකතුව තමයි දකුණු ආසියානු කලාපයේ අන්  රටවල්වලට සාපේක්ෂව ඉදිරියෙන්ම සිටීමට බලපාන පුමඛතම හේතුව ලෙස මං දකින්නේ. 

මේ ශික්ෂණය, සභ්‍යත්වය, විඤ්ඤාණය ශිෂ්ටාචාරයේ පදනම  අපට නොලැබුණා නම් සංවර්ධනය වෙනුවෙන් කෙතරම් ආයෝජනය කළ රටක් වුණත් අපට ඉදිරියට යන්න බැරිවෙන්න තිබුණා. ඉන්දියාව අද අඟහරු ලෝකයට අභ්‍යවකාශ රෝවරයක් යවනවා.  ඒත් සමඟම ඉන්දියානු අගමැතිතුමා අද පාරට බැහැලා පාර  අතුගානවා පිරිසිදු ඉන්දියාවක් ඇතිකළ යුතුයි  කියන හැඟීමෙන් මේ 21 වන සියවසේ. වැසිකිළි තිබුණාට මිනිස්සු වැසිකිළි වලට යන්නේ නැහැ. 

පාරවල්වල හංදිවල කාටත් පෙනෙන්න ඒ කටයුතු කරන සමාජයක් ඒ රටේ තියෙන්නේ. තරුණ ස්ත්‍රී ඝාතන පිළිබඳ අපට විශාල වශයෙන් ප්‍රවෘත්ති ඇහෙනවා. නමුත් ලංකාවේ එවැනි ප්‍රවෘත්ති වැඩිය අහන්න ලැබෙන්නේ නැහැ. නමුත් සමහර අපරාධ පිළිබඳව කනස්සල්ලක්, වේදනාවක් අපට තියෙනවා. අපරාධ පිළිබඳ ගත්තත් අපේ රටට වඩා අනෙකුත් රටවල මුග්ධ ස්වරූපයේ ප්‍රවණතා තියෙනවා. 

අපි  ඒවා හොඳයි කියනවා නෙවෙයි. ඒවා අපේ රටට වඩා දරුණුයි අනෙක් රටවල් වල. ඒ නිසා අපි කිසියම් තත්ත්වයක් රැකගෙන තියෙනවා ” යනුවෙන් ද  මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසීය. අනතුරුව විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් කොරතොට විමල ධම්ම මාහිමිපාණන්  වහන්සේට සන්නස් පත්‍රය මෙහිදී පිළිගන්වනු ලැබීය.

ශ්‍රී ලංකා ශෙව්ජින් මහානිකායේ අතිගරු මහානායක මහාකම්මට්ඨාචාර්ය අති පූජ්‍ය ඉඟුරුවත්තේ පියනන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා ශෙව්ජින් මහානිකායේ  මහා ලේඛකාධිකාරී අති පූජ්‍ය කිරිඔරුවේ ධම්මානන්ද මාහිමිපාණන් වහන්සේ, හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත රත්මලානේ සුජාත නාහිමිපාණන් වහන්සේ, ප්‍රාදේශීය විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙම උපහාර පුණ්‍ය මහෝත්සවයට වැඩම කළහ.

ඊට අමතරව හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති රුවන් ප්‍රබෝධ පීරිස්,  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ජයම්පති වැද්දාගල, ලංකා ටයිල් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර යන මහත්වරු, කලාකරුවෝ, රාජ්‍ය නිලධාරීහු, බැතිමත්හු ඇතුළු විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට සහභාගී වූහ.

NMD_8900

– Con. media

No comments:

Post a Comment

Post Bottom Ad