දෙවැනි පරාක‍්‍රමබාහු යුගයෙන් පසු කඨින පූජෝත්සවයට රාජ්‍ය අනුග‍්‍රහය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, November 9, 2020

දෙවැනි පරාක‍්‍රමබාහු යුගයෙන් පසු කඨින පූජෝත්සවයට රාජ්‍ය අනුග‍්‍රහය

දෙවැනි පරාක‍්‍රමබාහු යුගයෙන් පසු කඨින පූජෝත්සවයට රාජ්‍ය අනුග‍්‍රහය

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (8) පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්විණ. දෙවැනි පරාක‍්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග‍්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත‍්‍රයකි.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ අනුකූලතාව ඇතිව සංවිධානය කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිවරයා සෝමාවතී රජමහා විහාරාධිපති පහමුණේ ශී‍්‍ර සුමංගල හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

බුද්ධ පූජා පෙරහැරට සහ පූජාව පිළිගැන්වීමේ ආගමික වතාවතට සහභාගි වූ ජනාධිපතිවරයා කඨින චීවරය පඬු පෙවීමේ මහා මංගල්‍යයට ද එක්විය.

දහවල් දානමය පුණ්‍යකර්මයෙන් අනතුරුව පඬු පෙවූ කඨින චීවරය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පෙරහැරින් වැඩම කරවනු ලැබීය.

ජනාධිපතිවරයා එය සඟ සතු කොට පූජා කළේය. මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පුණ්‍යෝත්සවයේ ප‍්‍රධාන අනුශාසනාව කළහ. හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • ගෝඨාභය රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad