ඇමෙරිකාව තරහ කර ගත්තොත් ලංකාව අමාරුවේ.. ජනපතිවරණයෙන් කවුරු දින්නත් වෙනසක් නෑ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 5, 2020

ඇමෙරිකාව තරහ කර ගත්තොත් ලංකාව අමාරුවේ.. ජනපතිවරණයෙන් කවුරු දින්නත් වෙනසක් නෑ !

ඇමෙරිකානු ජනාධිපති ධූරයට කවුරුන් පත් වුව ද, ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිවල කිසිදු වෙනසක් සිදු නොවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පවසනවා. එහෙත්, ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා ඇමෙරිකානු ප්‍රතිපත්ති වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග එකිනෙකාට ප්‍රතිවිරුද්ධ බව ඔහු පෙන්වා දෙනවා.

“ඔවුන්ගේ ප්‍රතිපත්තිවල වෙනසක් සිද්ධ වෙන්නේ නෑ. ඒත් ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය වෙනස් වෙයි. පක්ෂ දෙකේ ම ප්‍රතිපත්තිය තමයි චීනය අභිබවා ඇමෙරිකාව ලෝක බලවතා ලෙස ක්‍රියාත්මක වීම. මේ කාරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අනුගමනය කරන්නේ යුද්ධමය ක්‍රියාමාර්ගයක්. යුද්ධමය වශයෙන් චීනය පරාජය කිරීමයි ට්‍රම්ප්ගේ අරමුණ. ඒත් ජෝ බයිඩ්න් නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයේ ක්‍රමවේදය වන්නේ, චීනය උපාය මාර්ගික ලෙස පරාජයට පත් කිරීම. දෙගොල්ලන්ගෙ ම අරමුණ චීනය පරාජය කිරීම තමයි.”

ඇමෙරිකාව චීනය පරාජය කිරීම සඳහා ඉන්දීය සහය ලබා ගන්නවා. එතනදි ශ්‍රී ලංකාව අපහසුතාවකට පත්වෙනවා. චීනය කියන්නේ ගොඩක් රටවලට ණය දීල, ඒ රටවල වරායවල් වගේ දේවල් අත්පත් කරගෙන ආර්ථික බලය පතුරුවන්න උත්සහ කරන රටක්. ඒ දේවල් අපේ රටෙත් සිද්ධ වෙමින් පවතිනවා. මෙතනදි ශ්‍රී ලංකාව චීනය පැත්ත අරන් වැඩ කරන්න ගියොත් ලොකු අර්බුදයකට ලක් වෙනවා.

ශ්‍රී ලංකාවේ කිසි ම භාණ්ඩයක් චීනයට අපනයනය කරන්නේ නැහැ. අපේ භාණ්ඩවලින් 60%ක් ගන්නේ ඇමෙරිකාව. අනෙක් ප්‍රතිශතයෙන් වැඩි කොටසක් ගන්නේ යුරෝපා සංගමය. යුරෝපා සංගමයත් ඉන්නේ ඇමෙරිකාව එක්ක අත්වැල් බැඳගෙන. ඒ නිසා ඇමෙරිකාව තරහ කර ගත්තොත් අපේ අපනයන ආදායම විශාල වශයෙන් බිඳ වැටෙනවා. එමගින් අපේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් තියෙනවා.”


No comments:

Post a Comment

Post Bottom Ad