MCC ගිවිසුම කොටස් දෙකකට යහපාලන ආණ්ඩුව අත්සන් කරලා - ඩොලර් මිලියන ගණනක ප්‍රදානය ගැන ගිණුම් විස්තර කිසිවක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 26, 2020

MCC ගිවිසුම කොටස් දෙකකට යහපාලන ආණ්ඩුව අත්සන් කරලා - ඩොලර් මිලියන ගණනක ප්‍රදානය ගැන ගිණුම් විස්තර කිසිවක් නෑ

MCC ගිවිසුම කොටස් දෙකකට යහපාලන ආණ්ඩුව අත්සන් කරලා - ඩොලර් මිලියන ගණනක ප්‍රදානය ගැන ගිණුම් විස්තර කිසිවක් නෑ

ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ලබා ගැනීම සඳහා අත්සන් කිරීමට යෝජිත මෙම එම්.සී.සී. ගිවිසුමේ මූලික අදියර දෙකකට 2017 සහ 2018 වර්ෂවලදී පසුගිය ආණ්ඩුව අත්සන් කර ඇති බවත් එම ගිවිසුම පිළිබඳව සමාලෝචනය කිරීමට පත් කළ කමිටුව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

ඒ යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ මිලියන 2.6ක් මෙරටට ප්‍රදානය කර ඇතත් ඊට අදාළ ගිණුම් විස්තර කිසිවක් නැති බවත් ආචාර්ය ගුණරුවන් මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) පිළිබඳ සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව එම කමිටුවේ ප්‍රධානී ආචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා ප්‍රමුඛ කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙමින් මේ බව සඳහන් කර තිබේ.

එම්.සී.සී. ගිවිසුම් (MCC) කෙටුම්පතේ අහිතකර පලවිපාක රැසක් පවතින බවත් මෙම ආකෘතියේ ගිවිසුම් හේතුවෙන් හොන්ඩියුරාස් හා මැඩගස්කර් වැනි රටවල් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් මෙහි දී පෙන්වා දී තිබේ.

මෙම අවස්ථාවේ පැවැති සාකච්ඡාවේ දී කමිටු සාමාජිකයන් පෙන්වා දී ඇත්තේ ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි බවයි. එසේම සාමාජිකයන් දෙදෙනකුට ඕනෑම කොන්දේසියක්, ලිපියක් මගින් වෙනස් කිරීමට හැකියාවක් ඇති බවත් එවැනි තීරණයක් පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් වන බවත්ය.

ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණයක් ඉදිරියට යෑමට නොහැකි බවත් කමිටුව පෙන්වා දී තිබේ. මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ කමිටුවේ ප්‍රධානී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා විදේශයන් හි ක්‍රියාත්මක කළ මෙවැනි ගිවිසුම් හේතුවෙන් එම රටවලට අත්ව ඇති ඉරණම පිළිබඳව අදහස් පළ කළේය.

“මේක ක්‍රියාත්මක කළ හුඟක් තැන්වල විදේශිකයෝ ඉඩම් ටික ඩැහැගත්තා. මැඩගස්කරයටයි හොන්ඩ්‍යුරාස්වලටයි වුණේ ඒක. මේකෙ ප්‍රදානයක්. අතරමග නතර කරන්න ඔවුන්ට පුළුවන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියල හරි, හිමිකම් උල්ලංඝනය කළා කියල හරි නවත්තන්න පුළුවන්. නමුත් ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක වෙනවා. මැඩගස්කරවලයි හොන්ඩ්‍යුරාස්වලයි වුණේ ඒක. ඉඩම් ටික ඔක්කොම ඒගොල්ලන්ට ගියා. දීපු සල්ලිවලින් සියයට විසිපහක් තිහක්වත් රටට ආවේ නැහැ. හැබැයි ඒගොල්ලන් පිටමං කරන්න විදියක් නැහැ. ඒකට ඕන කොන්දේසි ටික නූල් බෝලයක් වගේ ගැටගහල තියෙනවා. අපි වගේ රටකට ආධාරයක්, ප්‍රදානයක් විතරක් නිසා මේක වැදගත් කියලා යමෙකුට කියන්න පුළුවන්. හැබැයි ආධාරයක් එක්ක හදපු ගෙදර දොරේ යතුර අපි එයාලට දෙන්න ඕනේ. ඒකයි කොන්දේසිය.“ යැයි ඒ මහතා අවධාරණය කළේය.

මෙම කමිටු වාර්තාව ජනතා අවධානයට යොමු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ නිවේදනය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad