පුරන් කුඹුරු අස්වද්දන මොරකැටියේ නාගිත පොඩි හාමුදුරුවෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 21, 2020

පුරන් කුඹුරු අස්වද්දන මොරකැටියේ නාගිත පොඩි හාමුදුරුවෝ

හාමුදුරුවනේ මගේ දායක වසම වන ලබුදුවේ වසර 25කට අධික කාලයක් වගා නොකර තියෙන පුරන් කුඹුරු යායක් තියෙනවා.
නාගිත හිමියන් හා මද්දුම අයියා සමග ලබුදුව යායට

මුහුණු පොත අප සමාජයේ කොයි කා අතරත් ඉතා ජනප‍්‍රිය සමාජ මාධ්‍යයක් බවට පත්ව ඇත්තේය. ඒ කොයිහැටි වුවද ඇතැමුන් මුහුණු පොත නිවැරදි අයුරින් ඵලදායි ලෙස භාවිත කරන්නේ නැත. අප මේ කියන්නට යන්නේ මුහුණු පොත මගින් සම්පත් දායකයින් හඳුනාගෙන පුරන්කුඹුරු අස්වැද්දීමට පෙරමුණ ගෙන සිටින හිමිනමක් ගැනය. උන්වහන්සේ රත්නපුරේ විමලබුද්ධි පොඩි හාමුදුරුවෝය. විමලබුද්ධි පොඩි හාමුදුරුවෝ මුහුණු පොත නිවැරදි අයුරින් භාවිතකරණ හිමිනමකි. මේ වනවිට උන්වහන්සේ පුරන්කුඹුරු අස්වැද්දීමේ ෆේස්බුක් මෙහෙයුමක් ආරම්භකොට ඇත්තාහ.

ගොවිකමට දැඩි ඇල්මක් දක්වන විමලබුද්ධි හිමියන් මේ වනවිට ගාල්ල ලබුදුව යායේ හා කිරිබත්ගොඩ මාවරමණ්ඩිය යායේ වසර 25කට අධික කාලයක් පුරන්ව පැවැති අක්කර 60 ක පමණ පුරන් කුඹුරු යායක් අස්වැද්දීමට පෙරමුණ ගෙන සිටිති. උන්වහන්සේට මේ සඳහා මුහුණු පොත මගින් හඳුනාගත් දෙස් විදෙස් දානපතියන්, ස්වේඡා සංවිධාන, ගොවි සංවිධාන මෙන්ම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ද සහයෝගය හිමිවි ඇත. විමලබුද්ධි හිමියන් ලබුදුව ප‍්‍රදේශයට වැඩම කරන්නේ ද අහම්බෙනි. ලබුදුව ශ‍්‍රී විජයාරාම විහාරාධිකාරි මොරකැටියේ නාගිත හිමියන් ද තරුණ හිමිනමකි. උන්වහන්සේ ඕමල්පේ සෝභිත හිමියන්ගේ ගෝල හිමිනමකි.

විමලබුද්ධි හිමියන් විසින් පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා මුහුණු පොත මගින් සිදුකරනු ලබන මෙහෙයුම ගැන මොරකැටියේ නාගිත හිමියන් ද දැඩි අවධානයෙන් යුතුව බලාගෙන සිටියහ. විමලබුද්ධි පොඩි හාමුදුරුවන් විසින් මුහුණු පොතට මුදාහැර තිබූ විඩියෝපට එකින් එක නැරඹුවේය. හාමුදුරුවනේ මගේ දායක වසම වන ලබුදුවේ වසර 25කට අධික කාලයක් වගා නොකර තියෙන පුරන් කුඹුරු යායක් තියෙනවා. අපි ඒ යායත් වගාකරමු. මොරකැටියේ නාගිත හිමියන් විමලබුද්ධි පොඩි හාමුදුරුවන්ගෙන් ඉල්ලීමක් කළහ. මොරකැටියේ නාගිත හිමියන් විමලබුද්ධි පොඩි හාමුදුරුවන් දැන හැඳින ගත්තේද මුහුණු පොත මගිනි.

හරි හාමුදුරුවනේ අපි වැඬේ පටන්ගමු. මම ලබුදුවට එන්නම්. විමලබුද්ධි හිමියන් කිහ. නාගිත හිමියන්ගේ ඉල්ලීමට අනුව විමලබුද්ධි හිමියන් ලබුදුවට වැඩම කළහ. උන්වහන්සේ මොරකැටියේ නාගිත හිමියන් සමග ලබුදුව යායේ අස්සක් මුල්ලක් නෑර වැඩම කරමින් යාය නිරීක්‍ෂණය කළහ. මේ අතරතුරේ ලබුදුව ග‍්‍රාමනිලධාරි වසමේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර පී.එස් වෙරළවිතාන මහතාද විමලබුද්ධි පොඩිහාමුදුරුවන්ට මුණගැසුණහ. වෙරළවිතාන මහතාට ද පුරන්ව පැවැති මෙකි කුඹුරු යාය අස්වැද්දීම සඳහා පැවැතියේ දැඩි ඕනෑකමකි. හාමුදුරුවනේ අපි මේ වැඬේ කරමු. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පැත්තෙන් ලබා දෙන්න පුළුවන් පූර්ණ සහයෝගය මේ සඳහා ලබා දෙන්න අපි මැදිහත්වෙන්නම්. වෙරළවිතාන කිවේය. ඊටපසු දිනම වෙරළවිතාන මහතා ගෙයින් ගෙට ගොස් ගොවින් හමුවෙමින් මේ ගැන දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබීය. ලබුදුව ගොවිජන සංවර්ධන ප‍්‍රාදේශීය නිලධාරි එච්.කේ.ජේ සඳමාලි මහත්මිය ද දැනුවත් කිරීමට වෙරළවිතාන මහතා කටයුතු කළේය. මේ කටයුත්ත සඳහා ලබුදුව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් ලබා දෙන්න පුළුවන් පූර්ණ සහයෝගය අපි ලබා දෙමු. තණකොළ කපන මැෂිම් 05ක් තියෙනවා. ඒකත් ලබා දෙන්න පුළුවන්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ක‍්‍රියාත්මක වන විශේෂ වි්‍යාපෘතියක් තියෙනවා ඒ හරහා සී සෑමේ කටයුතු බීජ වී ගොවීන්ට ලබා දෙන්න පුළුවන් ප‍්‍රාදේශීය නිලධාරිතුමිය කිවාය.

මෙකි කුඹුරු යාය වසර 25ක කාලයක සිට පුරන්ව පැවතුණි. ආක‍්‍රමණශිලි ශාක වලින් මුළු යායම වැසී ගොස්් තිබුණේය. කිලෝමීටර් එකහමාරක දිගින් යුත් ඇළ මාර්ගය වල්බිහිවී ගොඩවී තිබුණි. මෙකී කුඹුරු යාය පිළිබඳ සොයා බලමින් සිටියදී ප‍්‍රදේශයේ පැරණි ගොවිමහතුන් පිරිසක්ද විමලබුද්ධි පොඩි හාමුදුරුවන්ට මුණ ගැසුණහ. හාමුදුරුවනේ මේ ඇළ මාර්ගය මීට වසර දහපහළොවකට පමණ ඉහතදී තමයි කපලා අලූත්වැඩියා කළේ. පළලට වඩා වැඩියෙන් තමයි ඇළ කැපුවේ. ඇළෙන් එගොඩ මෙගොඩ යන්න පාලමක් දමන්න ඕන, ඒ ගොවිමහත්වරුන් කීහ. හරි අපි ඇළ මාර්ගය අලූත්වැඩියා කරමු, විමලබුද්ධි පොඩිහාමුදුරුවන් පැවසූහ.

විමලබුද්ධි පොඩිහාමුදුරුවන් තණකොළ කපන මැෂිමක් ද ලබුදුවට රැගෙනවිත් තිබුණි. ඊට පසුදින විමලබුද්ධි හිමියන් මොරකැටියේ නාගිත හිමියන් හා මද්දුම අයියා සමග ලබුදුව යායට යළි වැඩම කළහ. ගෙනැවිත් තිබූ පුංචි කූඩාරම වෙල්යාය අසල ඉදිකෙරණි. මද්දුම අයියේ, පුළුවන් විදියට තණකොළ කපන මැෂිම අරගෙන වැඩපටන් ගන්න. විමලබුද්ධි පොඩිහාමුදුරුවෝ මද්දුම අයියාට පැවසූහ. විමලබුද්ධි හිමියෝ ජංගම දුරකථනය අතට ගෙන ලබුදුව යායේ ඇළමාර්ගයේ පවතින තත්ත්වය හා තණකොළ කපන අයුරු විඩියෝ ගතකරණු ලැබීය. ඉන්පසු ඩ්‍රෝනා වර්ගයේ පුංචි කැමරාවකින් ඇළ මාර්ගය ඡයාරූපගතකොට ඇළ මාර්ගය ගලායන ආකාරය නිරීක්ෂණය කරනු ලැබිය. ඉන්පසු විමලබුද්ධි පොඩිහාමුදුරුවන් විසින් විඩියෝගතකරණු ලැබූ විඩියෝ පටය මුහුණු පොතට මුදා හරිනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් විමලබුද්ධි හිමියන්ට පොරොන්දු වූහ. නාගරික මන්ත‍්‍රී අනුරාධ ගායන් මන්ත‍්‍රීවරයාගේ මෙහෙය වීමෙන් අක්කර 40 සඳහා අවශ්‍ය කාබනික පොහොර ලබා දීමට කටයුතු කෙරණි. අක්මීමන ප‍්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනයේ තරුණ පිරිස් ශ‍්‍රමයෙන් සිය දායකත්වය ලබාදීමට ඉදිරිපත් වූහ. මෙහිදි ලබුදුව ගොවි සං

විධානය සහ විහාරස්ථ දායක සභාවෙන් මේ කටයුත්ත සඳහා හිමිවූයේ විශාල දායකත්වයකි. ගාල්ල දිස්ත‍්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කංචනා චතුරාණි මහත්මිය ද ගොවිජන සේවා දෙපාර්තමේන්තු මට්ටමින් අවශ්‍ය සහයෝගය ලබා දෙනු ලැබීය.

රත්නපුරේ විමලබුද්ධි හිමියන්ගේ බලාපොරොත්තුව වන්නේ රට වටේ ගොස් විහාරස්ථාන මුල්කරගෙන එම බල ප‍්‍රදේශවල පුරන්කුඹුරු අස්වැද්දීමට කටයුතු කිරීමයි.

මම රඟපාන්නේ නැතිව හාමුදුරුකම පැත්තකට තබා අත්දැකීම ගන්න කුඹුරට බැහලා වැඩ කළා. අපේ මිතුරන් මට කත ාකරලා බැන්නා. දොස් කීවා. දැන් ඔබවහන්සේ කාණු ශුද්ධකරනවා. ගිහියන් කරන වැඩ කරණවා. කියා කිව්වා. ඔබ වහන්සේ ගණින් වහන්සේගේ යුගයට යන්න හදනවාද කියලා ඇසුවා. නමුත් මේ සියලූදේ පසෙක තබා මේ වැඬේ පටන්ගත්තා. ඇත්තටම මුහුණු පොත නිවැරදි අයුරින් භාවිත කිරීමෙන් තමයි මට මේ කාර්ය කරන්න සම්පත්දායකයින් සොයාගන්න පුළුවන් වුණේ. පුරන් කුඹුරු අස්වද්දන්න ගමේ විහාරස්ථානවල වැඩ සිටින භික්ෂුන් වහන්සේ මූලිකත්වය ගන්නවානම් මේ වැඬේ ඉතා පහසුවෙන් කරන්න පුළුවන් රත්නපුරයේ විමලබුද්ධි හිමියන්ගේ අදහසයි.

ඒ විතරක් නොව, විමලබුද්ධිහිමියන් ඇතුළු පිරිවර මාවරමණ්ඩිය ප‍්‍රදේශයේ කිලෝමීටර් 03කින් යුත් ඇළ මාර්ගය දින 29කදී ප‍්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කළහ. විමලබුද්ධි පොඩිහාමුදුරුවන්ද ඇළ මාර්ගයට බැස තරුණ පිරිස සමග හරි හරියට වැඩ කළහ. ඒ සඳහා වැයවී තිබුණේ රුපියල් ලක්ෂ 05ක් තරම් සුළුමුදලකි. මෙකී ඇළ මාර්ගය ඇස්තමේන්තුකොට කොන්ත‍්‍රාත්කරුවකු විසින් සිදුකළානම් විශාල මුදලක් වැයවන බව කිවයතු නොවේ. ගමේ ගොවිමහත්වරු තරුණ පිරිස දානපතියන් ලබාදුන් ශක්තිය නිසා ඉතා කෙටිකාලයකින් ඇළමාර්ගයේ වැඩ අවසන් කිරීමට හැකිවිය.

ඇත්තටම මට පුරන් කුඹුරු වගා කිරීමට ආශාවක් ඇතිවුණේ නාලක සේනාධීර කියන තරුණයෙක් පුරන් කුඹුරු වගා කිරීමට කටයුතු කරන අයුරු මුහුණු පොත මගින් මා දැක්කා. මට හිතුණා ඇයි මටත් මේ වැඬේ කරන්න බැරි කියලා. තැඹිලිගස්මුල්ලේ තරුණයින් පිරිසක් පුරන් කුඹුරක් අස්වද්දනවා කියලා මට දැන ගන්නට ලැබුණා. මම ඒ කුඹුරුයායට වැඩම කළා. නාලක කියන තරුණයා තමයි ඒ කුඹුරුයාය වගා කිරීමට මුල්වෙලා තිබුණේ. පුරන් කුඹුරට බැස නියර දිගේ මඬේ එරෙමින් මා ඇවිද ගෙන ගියා. කුඹුරේ සිටි යොවුන් වියේ පසුවු තරුණ ඉලන්දාරි පිරිසක් කොහිල දලූමිටියක් කඩා ගෙනවිත් මට පූජාකොට දණගසා වැන්දා. මෙය අහඹු සිදුවීමකි. ස්වභාවධර්මය මට මේ කරන්නේ ආරාධනාවක්. දැන් පන්සලට වෙලා හිටියා ඇති. සමාජසේවයක් කරන්න කියලා ආරාධනාවක් තමයි කරන්නේ කියලා මට හිතුණා, විමලබුද්ධි පොඩි හාමුදුරුවන් කීහ.

ඒ අනුව පුරන්කැඞීමේ උත්සව ඉකුත් 17 වැනි දින පෙරවරුවේ දී මාවරමණ්ඩය යායේ දී හා ලබුදුව යායේ දී පැවැතියේ ආගමික කටයුතුවලට මුල්තැන දෙමිනි. ලබුදුව යායේ පුරන් කැඞීමේ උත්සවය පැවැතියේ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප‍්‍රධානත්වයෙනි. උන්වහන්සේ අනුශාසනාවක් කරමින් මෙහිදි හරි අපූරු කතාවක් කීහ.

සහල් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි, හැමතැනකම මාෆියා ක‍්‍රියාත්මක වෙනවා. අධ්‍යාපනයේ සෞඛ්‍යයේ, කර්මාන්ත ක්ෂේත‍්‍රයේ මාෆියාවක් තියෙනවා. කොටින්ම කිවහොත් බස්නැවතුම්පොළකත් මාෆියාවක් තියෙනවා. ජාතියට බත සපයන ගොවියා අද අසරණ වෙලා තියෙනවා. දහඩිය මහන්සියෙන් වැඩ කළත් ගොවියාට නිසි සැලකිල්ල ලැබිලා නැහැ. කතාවට කියනවා ගොවියා රජකමටත් සුදුසුයි කියලා. නමුත් ගොවියාට රජකම තබා මනුස්සකම පවා රැුක ගැනීමට අවස්ථාවක් ලැබිලා නැහැ. අපි බලාපොරොත්තු වෙන්වා වත්මන් රජයේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ගොවියාට රජකම කෙසේවෙතත් ගොවියාට හිමි මනුස්සකම ලබා ගන්න මේ රජය කටයුතු කරාවි කියලා. පුරන්කුඹුරු අස්වැද්දීමේ ජාතික ව්‍යාපාරිය මහා පුණ්‍ය ක‍්‍රියාවක්. සෑම ප‍්‍රදේශයකම පුරන්ව ඇති කුඹුරු අස්වැද්දීම විහාරස්ථාන මුල්කරගෙන සිදු කළ යුතුයි. පුරන්ව ඇති කුඹුරු යළි අස්වැද්දීම සඳහා මේ රටේ භික්ෂුන්වහන්සේ පෙරමුණ ගතයුතුයි. අනිකුත් සියලූ සංවිධාන මුල්කරගෙන. ගොවියාගේ අස්වැන්නට නියම මිලක් රජය විසින් ලබාදේවි කියන උත්තරීතර බලාපොරොත්තුව තියෙනවා. ගොවි තැනට දැඩි අවධානයක් යොමුකළ යුතු වෙනවා, උන්වහන්සේ පැවසූහ.

ගාල්ල දිස්ත‍්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් කංචානා චතුරාණි මහත්මිය මෙසේ කිවාය.

ගාල්ල දිස්ත‍්‍රික්කය තුළ පුරන්කුඹුරු අක්කර 3900ක් පමණ තියෙනවා. මෙවර මහ කන්නයෙත් අපි පුරන්කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන් ක‍්‍රියාත්මක කළා. නව රජයේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කෘෂිකර්ම ඇමති චමල් රාජපක්ෂ මැතිතුමා ගේ මඟපෙන්වීම යටතේ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් මද්දුම බණ්ඩාර වීරසේකර මහතාගේ මාර්ගඋපදේශකත්වය මත ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පුරන්කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන් ක‍්‍රියාත්ම කරනවා යැයි සහකාර කොමසාරිස්වරිය සඳහන් කළාය.

ලලිත් චාමින්ද



No comments:

Post a Comment

Post Bottom Ad