කොරෝනා මරණ 2800 දක්වා ඉහළට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 28, 2020

කොරෝනා මරණ 2800 දක්වා ඉහළට

කොරෝනා මරණ 2800 දක්වා ඉහළට

ලොව පුරා ඉතාමත් කැපී පෙනන වේගයකින් ව්‍යාප්තවන නව කොරෝනා වෛරස ආසාදනයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2800 දක්වා ඉහළ ගොස් ඇත. පාකිස්තානය, නෝර්වේ, ජෝර්ජියාව ,රුමේනියාව ,ඩෙන්මාර්කය සහ උතුරු මැසිඩෝනියාව, කොරෝනා ආසාදිතයින් වාර්තා වූ අලුත්ම රාජ්‍යයන් වෙයි. මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් නෟකාවේ සිටි ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය වැළදී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාව වෙත යොමු කර ඇත. චීනයේ වූහාන් නගරයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පළමුවරට වාර්තා වූ නව කොරෝනා වෛරසය මේ වනවිට ලෝකයේ රටවල් 46ක ව්‍යාප්ත වී ඇත. මේ අනුව වාර්තාවී ඇති සමස්ත සිද්ධි සංඛ්‍යාව 81700ක්.

වෛරස ආසාදනයෙන් අදවනවිට චීනයේ පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2718ක්. චීනයෙන් පිටත වැඩිම නව කොරෝනා ආසාදිතයින් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ගතවූ පැය විසිහතරක කාලයේදී පමණක් දකුණු කොරියාවෙන් සිද්ධීන් 334ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරටින් හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1595ක්. එමෙන්ම කොරෝනා මරණ 12ක් එරටින් වාර්තා වෙයි. ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව නැංගූරම්ලා තිබූ ජපානයෙන්ද ආසාදිතයින් 863ක් වාර්තා වන අතර ඊයේ දිනයේද එරටින් නව මරණයක් වාර්තා වී තිබුණි. කෙසේ නමුත් ජපාන රජය නැවතත් අවධාරණය කරන්නේ, එම තත්ත්වය සලකා 2020 ඔලිම්පික් උළෙල කල් දැමීමේ අපේක්ෂාවක් නොමැති බවයි. මේ අතර යුරෝපයේ වැඩිම නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.

එරටින් සිදුවීම 453ක් වාර්තා වන අතර මරණ 12ක් ද සිදුව ඇත. එමෙන්ම මැදපෙරදිග රාජ්‍යයක් වන ඉරානයෙන්ද කොරෝනා ආසාදිතයින් 139දෙනෙක් සහ මරණ 20කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබුණි. මෙම තත්ත්වය සලකා රටපුරා ප්‍රවාහන වාරණයක් පැනවීමට රජය කටයුතු කළේය. මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ධවල මන්දිර මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කර තිබුණි. එහිදී අමෙරිකාවේ වෛරස ආසාදනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකෙරුණු අතර රටතුළ කොරෝනා පාලන වැඩපිලිවෙලේ මූලිකත්වය උප ජනාධිපති මයික් පෙන්ස් වෙත පැවරීමටත් එහිදී ඔහු කටයුතු කර තිබුණි.

මේ අතර ඊයේ දිනයේදී හදිසි තත්ත්වයක් නම්කළ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයට අමතරව කැලිෆෝනියාවේ ඔරේන්ජ් කන්ට්‍රි කලාපයේද හදිසි තත්ත්වයක් නම්කර ඇත්තේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහායි. සෞදි අරාබියේ වන්දනීය මදීනා හි උම්රාහ් සිද්ධස්ථානය වෙත ඇතුලුවීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත.

මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් නෟකාවේ සිටි ශ්‍රී ලාංකික සේවකයින් දෙදෙනෙකු කොරෝනා වෛරසය වැළදී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් ඉන්දියාව වෙත යොමු කර ඇති අතර දින 14ක නිරෝධායනයකින් පසු යළි දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad