දඹුල්ලේ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 16, 2019

දඹුල්ලේ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් සොයා ගැනේ

දඹුල්ලේ දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් සොයා ගැනේ

දඹුල්ල නගර මධ්‍යයට කිලෝමීටර් කාලක් පමණ දුරින් ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසල දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් අද (16) පෙරවරුවේ සොයා ගත් බව දඹුල්ල පොලිසිය කියයි.

මෙම ප්‍රදේශයට හරකුන් බැඳීම සඳහා ගිය තරුණයකු තම ගවයාගේ කකුලේ පැටළුණු පොලිතින් බෑගයක තිබී මෙම බෝම්බ තුන විසි වෙනු දැක දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට දැනුම් දීමෙන් පසු මෙම බෝම්බ තුන සොයාගත් බව පොලිසිය කියයි.

වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂාකොට බලා ප්‍රදේශය ආරක්ෂිත ස්ථානයක් බවට පත්කොට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට මේ බව දැනුම් දීමට පියවර ගනු ලැබීය.

මේ දිනවල දඹුල්ල ප්‍රදේශයේ සිදුකරන විශේෂ සෝදිසි මෙහෙයුම් නිසා යම් කිසි අයෙකු බියට පත්ව මෙම බෝම්බ තුන ගෙනවිත් දමන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ලවා මෙම බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ජීව අත්බෝම්බ මෙම ස්ථානයට ගෙනැවිත් දැමුයේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිටත් පත්කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

No comments:

Post a Comment

Post Bottom Ad