අයි.පී.එල් වෙන්දේසියේදී මාලිංග අවුරුදු 10 කට පසු කැපේ ලංකාවෙන් අකිල හා චමීර පමණයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, January 29, 2018

අයි.පී.එල් වෙන්දේසියේදී මාලිංග අවුරුදු 10 කට පසු කැපේ ලංකාවෙන් අකිල හා චමීර පමණයි

අයි.පී.එල් වෙන්දේසියේදී
මාලිංග අවුරුදු 10 කට පසු කැපේ
ලංකාවෙන් අකිල හා චමීර පමණයි

11 වැනි වරටත් පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට (අයි.පී.එල්) අදාළව ඊයේ (28දා) සහ පෙරේදා දින දෙකේදී බැංගලෝරයේදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවෙන් අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් දෙදෙනාට පමණක් ඉල්ලුමක් ලැබුණු අතර පසුගිය තරග වාර දහයේදීම මුම්බායි ඉන්ඩියන්ස් පිල නියෝජනය කළ ලසිත් මාලිංගට කිසිදු ඉල්ලුමක් නොමැති වීම කැපී පෙනුණි.

ලසිත් මාලිංග අයිපීඑල් සහභාගීත්වය තුළින් මුදල් ඉපැයීමට
හුරුවීම නිසා ශ්‍රී ලංකා පිලට දායකත්වය අඩු කළ බවට පසුගිය කාලයේ විවිධ චෝදනා වලටද ලක්ව තිබූ අතර මෙම ප්‍රතික්ෂේපය සමග මාලිංග අතරමංවූ සෙයක් පෙන්නුම් කරයි. කණ්ඩායම් 8ක ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා දෙදිනක් පුරා පැවැති මෙම වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයන් ඇතුළු ජාත්‍යන්තර ක්‍රීඩකයන් 578ක් භාජන කළ අතර ශ්‍රී ලංකාවේ අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර ඔවුන්ගේ මූලික මුදල වූ ඉන්දියානු රුපියල් ලක්ෂ 50කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි විසි ලක්ෂයක්) අලෙවි වූයේ පිළිවෙළින් මුම්බායි ඉන්ඩියන්ස් සහ රාජස්ථාන් රෝයල් යන කණ්ඩායම් සඳහාය.

ඒ අනුව මෙවර අයි.පී.එල් වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 18ක් අතරින් මාලිංග, දික්වැල්ල, කුසල් ජනිත්, සඳකැන්, සචිත්‍ර, තරංග, අසේල, තිසර, ඇන්ජිලෝ, මුණවීර, සීක්කුගේ, ශානක, කුලසේකර, ලක්මාල්, ධනංජය සිල්වා හා උදාන යන 16 දෙනාම අලෙවි නොවූ ක්‍රීඩකයන් කොටසට අයත් වූ අතර මින් පෙර අයි.පී.එල් තරගවලදී වීරයකු වූ ක්‍රිස් ගේල් ද අවසන් මොහොතේදී කිංස් පන්ජාබ් පිල මිලදී ගත්තේ ඉන්දීය කෝටි 2කටය.

මේ අතර මෙවර අයි.පී.එල් වෙන්දේසියේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා ලෙස විරාත් කෝලි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට අයත් වූ අතර ඔහුට ලැබුණු ඉල්ලුම ඉන්දීය රුපියල් කෝටි 17කි. ඊට අමතරව මහේන්ද්‍ර සිං දෝනි, රෝහිත් ෂර්මා සහ රිෂාබ් පාන්ට් යන ඉන්දීය ක්‍රීඩකයන් හට ඉන්දීය රුපියල් කෝටි 15 බැගින් ඉල්ලුමක් ලැබුණ අතර කෝටි 12.5 බැගින් වූ ඉහළම මිලකට ඩේවිඩ් වෝනර්, සුනිල් නරායින්, ස්ටීව් ස්මිත්, ඇක්සා පටෙල් හා බෙන් ස්ටෝක්ස් යන දෙස් විදෙස් ක්‍රීඩකයන් අලෙවි විය. 

කෙසේ වෙතත් අයි.පී.එල් වෙන්දේසියකදී අලෙවි වූ පළමු නේපාල ක්‍රීඩකයා ලෙස දකුණත් පාදඟ පන්දු යවන සන්දීප් ලැමිච්චේන්ගේ නම සටහන් වන අතර රෂිඩ් කාන්, මුජිබ් සද්රාන් හා මොහොමඩ් නාබි යන ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයන් තිදෙනෙක්ම අලෙවි වීමද විශේෂත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad