ගාල්ල, පෝද්දල කුහුඹු ආක්‍රමණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

ගාල්ල, පෝද්දල කුහුඹු ආක්‍රමණයක්

ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන මැතිවරණ කොට්ඨාසයේ බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුරුන්දකන්ද රක්‍ෂිතයේ වෙසෙන කුහුඹු විශේෂයක් රක්‍ෂිතය අවට ගම්වලට විශාල වශයෙන් පැතිරීම නිසා මහත් ව්‍යසනයක් ඇතිවී ඇතැයි බෝපේ පෝද්දල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණය විය.

බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් ලලින්ද ගමගේ මහතා පවසන්නේ රක්‍ෂිතයේ ගස්වල සිටි කළු පැහැති කුඩා කුහුඹු විශේෂයක් මෙසේ අවට නිවාසවලට තර්ජනයක් වන අයුරින් බෝවී පැතිරී යන බවයි.

ගාල්ල ලබුදූව ප්‍රදේශයේ නිවාසවලටත් කුහුඹුවන් පැතිරෙන්නට පටන් ගෙන ඇතැයි තමාට වාර්තා වූ බව ඒ මහතා තවදුරටත් අප සමඟ පැවැසීය. 

මෙවැනි කුහුඹු විශේෂයක් මීට පෙර තේ ඉඩම්වල සිටි බවට වාර්තා වූ බව ප්‍රාදේශීය ලේකම්වරයා කියයි.
කුහුඹුවන් ගමන් කළ පාරවල් නිවසේ හා ගොඩනැඟිලිවල බිත්ති පුරාම දක්නට ලැබෙන බවත් නිවෙස ඇතුළත මේ කුහුඹුවන් දැකිය හැකි බවත් හෙතෙම පැවැසීය.

මේ සම්බන්ධව හික්කඩුව වනජීවී කාර්යාලයට දැන්වූ විට එහි නිලධාරීන් පැමිණ පරීක්‍ෂා කර ඇති තර කෘමිනාශක වර්ගයක් භාවිත කර සතුන් විනාශ කළ හැකි බවත් ඒ සඳහා වාර්තාවක් සකස් කර තමන් වෙත යොමු කරන බව දැන්වූයේ යැයි ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි. කුරුන්දකන්ද සහ අවට මේ තර්ජනයෙන් පීඩා විදින ප්‍රදේශවාසීන් පවසන්නේ කුමන කෘමි නාශකයක් භාවිත කළද දිනකට දෙකකට වඩා එමඟින් පාලනයක් නොවන බවයි. 

තම ඇඳුමක් වේළා ගැනීම සඳහා වැලක දමා තැබුවහොත් එම ඇඳුම යළි ප්‍රයෝජනයට ගැනීමට නොහැකි තත්ත්වයට කුහුඹුවන් විසින් සිදුරු කිරීමත් ඔවුන් ගමන් ගන්නා මාර්ගය ඇඳුමේ යළිත් සෝදා ඉවත් කළ නොහැකි ආකාරයට පැල්ලමක් සේ සිටින බවත් නිවෙසේ හාල් ඇතුළු ආහාරයට ගන්නා කිසිම දෙයක් අමතක වීමකින් හෝ වසා නොතැබුවහොත් විනාඩි ගණනාවකින් එය කුහුඹුවන් ගෙන් පිරී පවතින බවයි. මේ තත්ත්වය නිසා එදිනෙදාට අවශ්‍ය වන ආහාර පමණක් තම නිවෙස්වලට ගෙන ඒමට සිදුවී ඇතැයිද ඔවුහු පවසති.

 (ගාල්ල - එච්. පරණවිතාන)

No comments:

Post a Comment

Post Bottom Ad