තාත්තා එක්ක ජපානෙ යන්න ඕන කියූ යෝෂිතට රට යන්න අවසර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 24, 2017

තාත්තා එක්ක ජපානෙ යන්න ඕන කියූ යෝෂිතට රට යන්න අවසර

නීති විරෝධී ලෙස උපයාගත් මුදල් සී.එස්.එන්. රූපවාහිනි සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට මාස 02ක කාලයක් විදේශගත වීම සඳහා කොළඹ මහාධිකරණය ඊයේ (23දා) අවසර දුන්නේය.

නීති විරෝධී ආකාරයට රැස්කළ මුදල් සී.එස්.එන්. රූපවාහිනි සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත් කළ යෝෂිත රාජපක්ෂ මහතාට ඇප නියම කිරීමේදී ඔහුගේ විදේශ ගමන්
තහනම් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබිණි. එහෙත් සිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් මහාධිකරණය හමුවේ කරුණු දැක්වූ යෝෂිත රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජපානයේ සංචාරය කිරීමේ අවශ්‍යතාවක් තමන්ට ඇතිවී තිබෙන බව ප්‍රකාශ කළේය. 

ඉන් පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා තමන්ට ඕස්ට්‍රේලියාව බලා යෑමේ අවශ්‍යතාවක් මතුව තිබෙන බවද යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයට දන්වා සිටියේය. මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විරෝධය පළ නොකළේය. ඒ අනුව සැකකාර යෝෂිත රාජපක්ෂ මහතාට ජුනි මස 01 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා කාල සීමාව තුළ විදේශගත වීම සඳහා අවසර දුන්නේය.

ඒ අනුව දැනට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රඳවාගෙන සිටින යෝෂිත රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 05ක ඇපකරයක් මත මුදාහැරීමටද අධිකරණය නියෝග කළේය.

(කේ.එස්. උදය කුමාර්)

No comments:

Post a Comment

Post Bottom Ad