ඇමැති දෙපලක් ඉවතට - උතුරු මැදට නව ඇමැතිවරු 2 ක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 18, 2017

ඇමැති දෙපලක් ඉවතට - උතුරු මැදට නව ඇමැතිවරු 2 ක්‌

ඇමැති දෙපලක් ඉවතට - උතුරු මැදට නව ඇමැතිවරු 2 ක්‌
උතුරුමැද පළාත් සභාවේ තවත් ඇමැතිවරුන් දෙදෙනකු ඊයේ (17) ඉවත් කොට ඒ වෙනුවට අලුතින් ඇමැතිවරුන් දෙදෙනකු පත් කිරීමට ආණ්‌ඩුකාර පී. බී. දිසානායක මහතා පියවර ගෙන තිබිණි.

ඒ අනුව ප්‍රවාහන, ඉඩම්, වාරිමාර්ග, මහාමාර්ග, ග්‍රාම සංවර්ධන, නිවාස සහ වනිතා කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ එච්. බී. සේමසිංහ මහතා ඊයේ පෙරවරුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට සරත් ඉලංගසිංහ මහතා පත් කර ඇත.

කාෂිකර්ම, කෘෂි නිෂ්පාදන අලෙවි, සත්ත්ව නිෂ්පාදන, සෞඛ්‍ය හා ධීවර කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළ ආර්. එම්. පී. බී. රත්නායක මහතා ඇමැති ධුරයෙන් ඉවත් කර පළාත් සභාවේ සභා නායක ලෙස කටයුතු කළ සම්පත් ශ්‍රී නිලන්ත වික්‍රමාරච්චි මහතා පත් කර ඇත. සරත් ඉලංගසිංහ මහතා ඊයේ පෙරවරුවේත් සම්පත් ශ්‍රී නිලන්ත වික්‍රමාරච්චි මහතා ඊයේ පස්‌වරුවේත් අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ආණ්‌ඩුකාර නිල නිවසේදී දිවුරුම් දුන්හ.

මෙම අවස්‌ථාවනට උතුරුමැද ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර මහතාද සහභාගි විය. ඊයේ දිවුරුම් දුන් ඇමැතිවරුන් දෙදෙනාත් සමඟ උතුරුමැද පළාත් සභාවේ ඇමැති ධුර හතරටම හිටපු ඇමැතිවරුන් ඉවත් කර අලුත් ඇමැතිවරුන් පත් කර ඇත.

සරත් ඉලංගසිංහ මහතාගේ දිවුරුම් දීම ඊයේ පෙරවරුවේ අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි ආණ්‌ඩුකාර නිල නිවසේ පැවති මෙම දිවුරුම් දීමේ අවස්‌ථාවට ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර, පසුගියදා දිවුරුම් දුන් නවක අමාත්‍යවරුන් වන එම්. හේරත් බණ්‌ඩා සහ සුසිල් ගුණරත්න යන මහත්වරුද සහභාගි වූහ.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහ උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න බණ්‌ඩාර යන මහත්වරුන් සමඟ සිදුකරන ලද සාකච්ඡාවකින් අනතුරුව සරත් ඉලංගසිංහ මහතා එම ඇමති ධුරය භාර ගැනීමට එකඟත්වය පළ කොට තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්‌ෂ කණ්‌ඩායම සමඟ ක්‍රියාකාරීව දේශපාලන කටයුතු කර ඇති සරත් ඉලංගසිංහ මහතා පෙරේදා (16) පෙරවරුවේ ඒකාබද්ධ විපක්‌ෂයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ නායක එස්‌.එම්.චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවටද සහභාගි විය. 

එලෙස එම මාධ්‍ය හමුවට සහභාගි වූ ඒ මහතා පැය විසි හතරක්‌ ගත වීමටත් පෙර නව අමාත්‍ය තනතුරේ දිවුරුම් දීම සුවිශේෂී සිද්ධියකි. දෙවතාවක්‌ තිරප්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති සරත් ඉලංගසිංහ මහතා තුන්වරක්‌ මන්ත්‍රීවරයෙකු ලෙස උතුරු මැද පළාත් සභාව නියෝජනය කර ඇත. නිරන්තරයෙන් ස්‌වාධීන සහ ප්‍රගතිශීලී මතයක සිට පළාත් සභාවේ කටයුතු කරන ඒ මහතා එම පළාත් සභාවේ ගිණුම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස ක්‍රියා කරමින් සුවිශේෂී කාර්ය භාරයක්‌ ඉටු කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad