පර්පචුවල් සමාගම ණය ගෙවීම පැහැර හරී - හෙළිදරව්ව මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, April 5, 2017

පර්පචුවල් සමාගම ණය ගෙවීම පැහැර හරී - හෙළිදරව්ව මෙන්න

පර්පචුවල් සමාගම ණය ගෙවීම පැහැර හරී - හෙළිදරව්ව මෙන්න

බැදුම්කර මිලදී ගැනීමට පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ශ‍්‍රී ලංකා මහා බැංකුවෙන් හා සේවක අර්ථ සාධක අරමුදලෙන් එක්දින ණය පහසුකම යටතේ ලබාගත් රුපියල් බිලියන 11.06 ක ණය මුදල නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇතැයි ශ‍්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා හෙළි කළේය.

මීට පෙර අවස්ථාවකදී ද රුපියල් මිලියන 360 ක මුදලක් ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් වාර්තා වන්නේ යැයි පැවසු අල්විස් මහතා මෙම මුදල හා සැසදීමේදී නියමිත කාලසීමාව තුළ ගෙවීම පැහැර හැර ඇති රුපියල් බිලියන 11.06 ක මුදල ඉතාම ඉහළ  අගයක් ගන්නා බවද බැදුම්කර කොමිසම හමුවේ හෙළි කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

මේ අතර පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කරවලට ගෙවිය යුතු මුදල් පියවීම සඳහා එම සමාගම 2016.04.01 දින යොදාගෙන ඇත්තේ මහ බැංකුවේම මුදල් බව මහ බැංකුවේ තොරතුරු තාක්‌ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‌ෂ වසන්ත අල්විස්‌ මහතා ඊයේ (04) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පිළිගත්තේය.

මේ අනුව එදින සේවක අර්ථසාධක අරමුදලෙන් සහ මහ බැංකුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට රු. බිලියන 36.485 ක අරමුදල් ගලා ඒමක්‌ සිදුව ඇති බව ද අල්විස්‌ මහතා කොමිසමට කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අදාළ ගනුදෙනු ඇතුළත් ලේඛනයක්‌ කොමිසමට ඉදිරිපත් කරමින් සාක්‌ෂි දුන් වසන්ත අල්විස්‌ මහතා ප්‍රකාශ කළේ එම ලේඛනය තමා විසින් සකස්‌ කළ බවත් එහි සඳහන් තොරතුරු සත්‍ය බව තමා පිළිගන්නා බවත්ය.

රු. බිලියන 36.485 ක මුළු මුදල තුළ රු. බිලියන 6 ක (රු. කෝටි 600 ක) අර්ථසාධක අරමුදලේ මුදල් ද (රෙපෝ ක්‍රමයට ලබාගත්) පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම විසින් තම බැඳුම්කර ගනුදෙනු පියවීමට යොදාගෙන ඇතැයි ද අල්විස්‌ මහතා කියා සිටියේය.

2016.04.01 දින මහ බැංකුවෙන් ලබාගෙන ඇති (රෙපෝ ක්‍රමයට) අරමුදල් ප්‍රමාණය රු. බිලියන 10.5 (රු. කෝටි 10500 ක්‌) බවත් ඉතුරු ප්‍රමාණය මහ බැංකුවෙන් එක්‌ දින ද්‍රවශීලතා පහසුකම් යටතේ ලබාගෙන ඇති බවත් සාක්‌ෂිකරු නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා විසින් අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කියා සිටියේය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම කලින් (2016.03.29 සහ 31 යන දිනවල) මිලදී ගෙන තිබූ භාණ්‌ඩාගාර බැඳුම්කර සඳහා මුදල් පියවීමට නියමිතව තිබුණේ 2016.04.01 දින බවද ඔවුන් මහ බැංකුවේ එක්‌දින ද්‍රවශීලතා පහසුකම යටතේ ලබාගෙන තිබූ මුදල් නිසි පරිදි පියවීම පැහැර හැර ඇති බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්‍ෂිකරු විසින් කොමිසමට ඉදිරිපත් කළ ලේඛනයට නුව කොමිසමට කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad