ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 17, 2017

ගැබිනි මවට බසයේදී තිරිසන් ලෙස සලකයි.. බස් රථය හෝදවයි..

කටානේ මවගේ නිවසේ සිට වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා හල්පේ මාතා සායනයට එමින් සිටි ගැබිනි කාන්තාවකට බසයේදී වමනය යාම නිසා බසයෙන් බසින්නට ඉඩ නොදී බලහත්කාරයෙන් ගමනාන්තය කරා රැගෙන ගොස් බස් රථය පිරිසිදු කරවා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරු බව කියන කොන්දොස්තර සහ රියැදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව කොටදෙනියාව පොලීසිය කියයි.

විවාහයෙන් පසුව කොටදෙනියාව හෙට්ටිමුල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටින මෙම කාන්තාව සිය මවගේ කටානේ නිවසේ සිට ඇයගේ මවත් සමග මීරිගම බලා එන පෞද්ගලික බස්රියකින් මීරිගම හල්පේ පැවැත්වෙන වෛද්‍ය සායනයට සහභාගීවීමට පිටත් වී ඇත. තරමක් අසනීප තත්ත්වයෙන් පසුවූ ගැබිනි කාන්තාව අපහසුතාවයෙන් ගමන් කරද්දී කොටදෙනියාව නාවාන ප‍්‍රදේශයේදී වමනය ගොස් තිබේ.

මේ බව දුටු කොන්දොස්තර ජරාව අයින් කර මිස බසයෙන් බහින්න එපා යැයි තර්ජනය කර ඇත.ගැබිණි කත ඇයගේ මව සමග හල්පේ සායනයට යන මාර්ගය අසලදී බසයෙන් බහින්නට සැරසුණත් කොන්දොස්තර ඊට ඉඩ නොදීම නිසා ඔවුන්ට මීරිගම නගරය කරා එන්නට සිදුවී තිබේ. මීරිගම නගරයට පැමිණි පසුව ඔවුනට බසය සෝදා දමන ලෙස කොන්දොස්තර උපදෙස් දීම නිසා අසරණවූ ගැබිනි කත හා ඇයගේ මව බසයේ කාපට් ආදිය ඉවත් කර බසය පිරිසිදු කර ඇත.

මේ කටයුත්ත අවසන්වීමෙන් පසුව ඔවුනට සායනයට සහභාගී වීමට කාලයක් ලැබී නැති අතර ආපසු නිවසට ගොස් මේ සිදුවීම ගැන බස්නාහිර පළාත් මාර්ගස්ථ ප‍්‍රවාහන අධිකාරිය වෙත දැනුම් දී තිබේ.

– ලංකාදීප

No comments:

Post a Comment

Post Bottom Ad