චන්ද්‍රිකා ජාත්‍යන්තරය හමුවේ හමුදාවලට අවලාද නැගුවැයි මහින්ද හෙළා දකී. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 23, 2017

චන්ද්‍රිකා ජාත්‍යන්තරය හමුවේ හමුදාවලට අවලාද නැගුවැයි මහින්ද හෙළා දකී.

හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරණතුංග කළ කතාවක් නිසා ශ්‍රී ලංකා රණවිරුවන් ජාත්‍යන්තරය හමුවේ අවලාදයට ලක්වුණැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් පළ කරමින් දන්වා ඇත. එය මෙසේය.

යුද්ධය නිසා උතු‍රේ වැන්දඹු තත්වයට පත් වූ
කාන්තාවන් ශ්‍රී ලංකා යුද හමුදාවද ඇතුළු පිරිස් විසින් ලිංගික සූරා කෑමකට ලක් කරමින්  සිටින බවට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය පසුගිය සතියේ කොළඹ විදෙස් ජනමාධ්‍යවේදීන් අමතමින් කල කතාව කාගේත් අවධානයට යොමුවිය යුතුය. යුද කලාපයේ කාන්තාවන් අපේ හමුදාවන් විසින් ලිංගික අපයෝජනයට හා ලිංගිකව සූරා කෑමට ලක් කරනවාය යන්න එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව සාමාන්‍ය ක්‍රියා පටිපාටි නොසලකා හරිමින් පිහිටුවන ලද විමර්ශන දෙකකින්ද එනම් 2011 මාර්තු 31 වන දා එලිදක්වනු ලැබූ දරුස්මාන් වාර්ථාවේද 2015 සැප්තම්බර් 16 වනදා එළිදක්වන ලද නවි
පිල්ලේ / සෙයිඩ් අල් හුසේන වාර්ථාවේද සාක්ෂි රහිතව නගා තිබූ  ප්‍රධාන අවලාදයක් විය. සෙයිඩ් අල් හුසේන්ගේ වාර්තාවේ ‘ස්ත්‍රී දූෂණය හා ලිංගික සූරාකෑම’ යන මැයෙන්  පිටු 10 ක පමණ සම්පූර්ණ පරිච්ඡේදයක්ද තිබුණි. දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වන සැසි වාරය ආරම්භ වීමට දින ගණනක් තිබියදී ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති හා හිටපු සේනාධිනායිකාව අපේ සන්නද්ධ හමුදා උතුරේ යුද්ධයෙන් වැන්දඹු තත්වයට පත් වූ කාන්තාවන් ලිංගිකව සූරා කන බවට විදෙස් ජනමාධ්‍ය කරුවන් ගෙන්වා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර ඇත.

මෙය මානව  හිමිකම් කවුන්සිලයේ රැස්වීමට පෙර අපේ සන්නද්ධ හමුදාවන්ට එරෙහිව සිතා මතාම නගන ලද අවලාදයකි. මෙතනදී සිදු වි ඇත්තේ ශ්‍රී ලංකාවේ සතුරන් අපේ සන්නද්ධ හමුදා වලට නගන අවලාද ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරිය හා හිටපු සේනාධිනායිකාවද ඒ ආකාරයෙන්ම පැවසීමයි. කුමාරතුංග මැතිනිය ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවතින ජාතික සමඟිය හා සන්හිඳියාව පිළිබඳ කාර්යාලයේ ප්‍රධානියාය. එවන් තනතුරක් දරණ අයෙක් මේ ආකාරයේ ප්‍රකාශයක් කල විට එය ශ්‍රී ලංකා ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් හැටියට ලෝකයට යයි. ශ්‍රී ලංකා යුද හමුදාව කුමාරතුංග මැතිනියගේ අවලාද වලට පිළිතුරු බැඳීමෙන් පලක් නැත. රටේ හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු මෙවන් ප්‍රකාශයක් කල විට එයට ප්‍රතිචාර දැක්විය යුත්තේ වත්මන් ජනාධිපති හා සේනාධිනායකයායි. වත්මන් ජනාධිපතිවරයා අපේ සන්නද්ධ හමුදා හා ජනතාව වෙනුවෙන් කුමාරතුංග මැතිනිය කල ඒ නොහොබිනා ප්‍රකාශය ප්‍රසිද්ධියේ හෙලා දැකිය යුතු බව හිටපු ජනාධිපතිවරයෙකු හා සේනාධිනායකවරයෙකු වන මම ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.  එමෙන්ම රජයේ ONUR ආයනයේ ප්‍රධානී තනතුර දරමින් සිටියදී ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව මේ ආකාරයට අපකීර්තියට පත්කිරීම නිසා චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙවන් තනතුරක් දැරීමට සුදුසු පුද්ගලයෙක්ද  යන්නත් ආණ්ඩුව තීරණය කල යුතුය.


මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

No comments:

Post a Comment

Post Bottom Ad