පැහැරගත් කෝටිපතියා ඝාතනය කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, August 25, 2016

පැහැරගත් කෝටිපතියා ඝාතනය කෙරේ

පැහැරගත් කෝටිපතියා ඝාතනය කෙරේ

පසුගිය 21වනදා රාත්‍රියේ බම්බලපිටිය - කොතලාවල පාරේදී පැහැර ගැනීමකට ලක් වූ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සායිඩ් සුලේමාන් මහතාගේ මළ සිරුර ඊයේ (24) රාත්‍රියේ මාවනැල්ල, රුකුලගම ප්‍රදේශයේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මවනැල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ එම මළ සිරුර ඒ මහතාගේ බවට පවුලේ ඥාතීන් විසින් හඳුනාගත් බවයි.

ඊයේ (24) රාත්‍රී 7.00ට පමණ මාවනැල්ල, බඹරකන්ද ප්‍රදේශයේ හඳුනාගත නොහැකි මළ සිරුරක් ඇති බවට මාවනැල්ල පොලිසියට තොරතුරු ලැබී තිබිණි.

මාවනැල්ල පොලිසිය ඒ සම්බන්ධයෙන් වහාම පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා දැනුවත් කර එම ස්ථානයට ගොස් තිබේ.

ඒ අතර එම මළසිරුර පසුගියදා පැහැරගැනීමට ලක්වූ කෝටිපති ව්‍යාපාරිකයාගේදැයි හඳුනා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් සමඟ ඒ මහතාගේ ඥාතීන් මාවනැල්ල බලා වහාම පිටත්ව ගොස් තිබිණි.

රාත්‍රී 10.00 ට පමණ මෙම ස්ථානය වෙත ගිය පොලිසිය සහ ඥාතීන් මළ සිරුර පරීක්ෂා කර බලා එය මොහොමඩ් සායිඩ් මහතාගේ බව හඳුනාගෙන ඇත.

ඊයේ රාත්‍රියේදීම මළ සිරුර මාවනැල්ල රෝහල වෙත ගෙන යාමට පොලිසිය පියවර ගෙන තිබේ.

ඔහුගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (25) උදෑසන මාවනැල්ල මහේස්ත්‍රාත් එල්. කේ මහින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

පොලීසිය සැක පළ කරන්නේ ඔහු වෙනත් ස්ථානයකදී ඝාතනය කර ගෙනවිත් දමා ඇති බවටයි.

මෙම අපරාධය සිදුකළ ඝාතකයන් කොටුකර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 7ක් තවදුරටත් මෙහෙයුම් සිදුකරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad