මුල්‍ය නගරයේ ආයෝජනයට සාක් රටවලට ආරාධනාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, August 30, 2016

මුල්‍ය නගරයේ ආයෝජනයට සාක් රටවලට ආරාධනාවක්

මුල්‍ය නගරයේ ආයෝජනයට සාක් රටවලට ආරාධනාවක්

දකුණු ආසියාවේ වෙළෙඳ ක‍්‍රමෝපායන මධ්‍යස්ථානයක් වූ කොළඹ ජාත්‍යන්තර මුල්‍ය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා ප‍්‍රයෝජනයට ගෙන තම රටවල ආර්ථික ප‍්‍රගමනයන්ට දායකත්වය ලබා ගන්නා ලෙස මුදල් ඇමති රවී කරුණානායක මහතා සාක් රටවල මුදල් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය. 

මුදල් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ පසුගියදා පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පැවැත් වූ දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල මුදල් අමාත්‍යවරුන්ගේ 8 වන සමුළුව අමතමිනි. 

අතීතයේ බොහෝ කාලයක් තුළ ආසියාවට අහිමිකර තිබූ හා අප විසින් උරගා නොබලන ලද ආර්ථික අභියෝගතා ජයගෙන කලාපයේ ආර්ථික සමෘද්ධිය සාක්ෂාත්කර ගැනීමට මෙම සියවස, ආසියාවට සම අවස්ථාවක් ලබාදී ඇති බව කරුණානායක මහතා පැවසී ය. 

ඔහු එහිදී කියා සිටියේ ආසියානු ජාතීන් විසින් පසුගිය වසර කීපය තුළ ලබා ඇති අතිමහත් දියුණුව සහ නොනැවතී විස්ථාරණය වන අවස්ථාවන් අපගේ ආර්ථික අභිවෘද්ධිය තවදුරටත් ශක්තිමත් කරනු ඇති බවයි. 

ලෝකයේ අනෙකුත් බොහෝ රටවල් ආර්ථික අර්බුදවලට මුහුණ දෙමින් සිටින මෙවන් වකවානුවක සාක් සමාජිකයින්, ඇතැම් සාමාජික රටවල් ඔවුන්ගේ අසල්වැසි රටවල පවතින ව්‍යාකූලතාවන්ට ද මුහුණ දෙමින් ලබා ඇති ප‍්‍රගතිය පිළිබඳ සතුටු විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

පසුගිය වකවානුව තුළ ශ‍්‍රී ලංකාව දුෂ්කරතාවලට මුහුණ දුන් සෑම අවස්ථාවක දී ම පාහේ පකිස්තානය විසින් දක්වන ලද උපකාරවලට තම රට, පකිස්තාන රජයට හා ජනතාවට සදා ණයගැතියි” යැයි ද රවී කරුණානායක මහතා මෙහිදී ප‍්‍රකාශ කළේය. 

ඇතැම් සාක් රටවලට ඇති වූ ස්වභාවික උපද්‍රව මෙන්ම මිනිස් ක‍්‍රියාකාරම් හේතු කොටගෙන සිදු වූ ව්‍යසනවලින් ජීවිත හා දේපල අහිමි වූ මෙන්ම අගතියට පත් ඒ ඒ රටවල ජනතාව වෙනුවෙන් ශ‍්‍රී ලාංකික ජනතාවගේ බලවත් කනගාටුව ප‍්‍රකාශ කරන බව ද මුදල් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad