තාජුඩීන්ගේ ඝාතනය ගැන අද පාපොච්ඡාරණයකට සූදානම් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 10, 2016

තාජුඩීන්ගේ ඝාතනය ගැන අද පාපොච්ඡාරණයකට සූදානම්

තාජුඩීන්ගේ ඝාතනය ගැන අද පාපොච්ඡාරණයකට සූදානම්
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුව ඊයේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික මහතාට අද (10) පාපොච්චාරණයක් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ(09) අවසර ලබාදුන්නේය. 

මේ අතර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සහ සුමිත් චම්පික මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 

සැකකාර නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අදාළ සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාගැනීම සඳහා සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිළධාරීන්ට නියෝග කර ඇත.

අනුර සේනානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ තම සේවාදායකයා වකුගඩු සම්බන්ධ රෝගාබාධයකින් පෙළෙන බැවින් ඔහු ඇප මත මුදාහරින ලෙසයි. ඊට විරෝධය පළ කළ රජයේ නීතීඥවරයා මෙම සැකකරු වසීම් තාජුදීන්ගේ මරණයට අදාළ පරීක්ෂණ කටයුතුවලට බලපෑම් සිදුකර ඇති බවත් මෙම අවස්ථාවේ සැකකරුට ඇප නියම කල හොත් පරීක්ෂණ කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් රජයේ නීතීඥවරයා සඳහන් කළේය.

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා සඳහන් කළේ වර්තමානයේ ඉදිරිපත් වී ඇති කරුණු අනුව සැකකරුවන්ට ඇප ලබාදිය නොහැකි බවයි. ඒ අනුව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා යන සැකකරුවන් ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad