ජනපති මැදුරේ පදිංචියට නොගිය හේතු දෙකක් ගැන මෛත්‍රී හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 9, 2016

ජනපති මැදුරේ පදිංචියට නොගිය හේතු දෙකක් ගැන මෛත්‍රී හෙළි කරයි

ජනපති මැදුරේ පදිංචියට නොගිය හේතු දෙකක් ගැන මෛත්‍රී හෙළි කරයි
ගමකින් පැමිණි තමාට ජනාධිපති මන්දිරයේ ගොඩනැගිලි ලොකු වැඩි බවත් මෙවැනි ගොඩනැගිලිවල වාසය කරන විට ලොකු ලොකු අදහස්ද ඇති වෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කොටුව ජනාධිපති මන්දිරය මහජනතාව වෙත දැකබලා ගැනීම සඳහා විවෘත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම මේ බව පැවසීය. දිවයිනේ පළාත් 9ම නියෝජනය වන පරිදි පාසල් ළමුන් අතිවිශාල පිරිසක් කොටුව ජනාධිපති මන්දිරය නැරඹීමට ඊයේ (08) පැමිණ සිටි අතර එම දරුවන් අතරින් දරුවන් කිහිප දෙනකු මෙම මන්දිරය පිළිබඳව ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමද කළහ.

එම දරුවන්ගේ ප්‍රශ්නවලට සිනහමුසු මුහුණෙන් පිළිතුරු දුන් ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.

“කොටුව ජනාධිපති මන්දිරය යනු ඓතිහාසික පසුබිමක් තිබෙන ගොඩනැගිල්ලක්. මෙය ජනාධිපතිවරුන්ට අයිති තැනක් නමෛයි. මෙය රටේ මහජනතාවට අයිති ‍පොදු වස්තුවක්. ඒ නිසා එය නැරඹීමට දැකබලා ගැනීමට ජනතාවට අයිතියක් තිබෙනවා. අපේ රටේ ජනතව අනුරාධපුර ‍පොළොන්නරුව එහෙමත් නැත්නම් ඓතිහාසික මහනුවර වැනි සුවිශේෂී ඉතිහාසයක් සහිත ස්ථාන නැරඹීමට යනවා. 

ඒ වගේම තමයි මෙම ගොඩනැගිල්ල පිළිබඳවද ඉතා දිගු ඉතිහාසයක් වගේම ඓතිහාසික වටිනාකමක් තිබෙනවා. ඒ නිසයි මම තීරණය කළේ මම මන්දිරය ජනතාවට නැරඹිමට විවෘත කළ යුතු බව. මම බලා‍පොරොත්තු වෙනවා ඉදිරියේදී නුවර සහ නුවරඑළිය ජනාධිපති මන්දිරත් මේ වගේ ජනතාවට නැරඹීම සඳහා විවෘත කිරීමට. එහිදී මේ ජනාධිපති මන්දිරය නැරඹීමට ලබානොදෙන අවස්ථාවල එම ජනාධිපති මන්දිර නැරඹීමට අවස්ථාව ලබාදෙනවා.

කොටුව ජනාධිපති මන්දිරය නැරඹීමට අපි ලබාදෙන්නේ සතියක කාලයක් පමණයි. ඊට හේතුව තමයි මේ ගොඩනැගිල්ල ඉතා පරිස්සමෙන් පාවිච්චි කළ යුතුයි. ආරක්ෂා කරගත යුතුයි. ඒ වගේම මෙය බැලීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම් පවා ලබාදීමට සිදුවෙනවා. ඒ සඳහා රජයට වියදමක් දැරීමට සිදුවෙනවා. ඒ නිසා ඉදිරියේදී සෑම වසරකට සතියක් හෝ මාසයක් කාලයක් කොටුව ජනාධිපති මන්දිරය නැරඹීමට අවස්ථාව ලබාදෙන්න මා බලා‍පොරොත්තු වෙනවා.

මගේ ප්‍රතිපත්තිය අනුවයි මා ක්‍රියා කරන්නේ. අතීතයේ නායකයින් මේ මන්දිරය නැරඹීමට අවස්ථාව ලබා නොදුන්නට මා තීරණය කළා මේ සඳහා ජනතාවට ඉඩ ලබාදීමට. ඒ වගේම මම හිතනවා ඉදිරියේදී බලයට එන නායකයිනුත් මේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයයි කියලා. මම මේ මන්දිරයේ පදිංචියට නොපැමිණීමට බලපානු ලැබූ හේතු දෙකක් තිබෙනවා. ප්‍රධානම කාරණාව තමයි මේ මන්දිරය නඩත්තුවට යන වියදම. මාසික විදුලි බිලට පමණක් ලක්ෂ 75ක් වැය වෙනවා. 

ජනාධිපතිවරයකු පදිංචිව සිටිය නැතත් ලක්ෂ 25ක පමණ විදුලි බිලක් මේ සඳහා වැය වෙනවා. මෙවැනි විශාල විදුලි බිලක් මේ සඳහා වැය වන්නේ මෙහි තිබෙන භූගත මන්දිරය නිසයි. එම භූගත මන්දිරය පැය 24 පුරාම වායු සමනය කර තිබිය යුතුයි. එහෙම නොමැති වුවහොත් භූගත මන්දිරය නඩත්තු කිරීමට බැරිවෙනවා. ජල බිල්පත සඳහා රුපියල් ලක්ෂ 40ක් වැය වෙනවා.

මෙහෙම බලනවිට ජනාධිපතිවරයකු මෙහි පදිංචිව සිටියහොත් ඉහත වියදම සමග තව ඔහුගේ කාර්ය මණ්ඩලයවලට සහ අනකුත් වියදම්ද සමග රුපියල් ලක්ෂ 150ක් පමණ මාසයකට වැය කරන්න සිදුවෙනවා.
අනික් කාරණාව තමයි මම ගම්බද මිනිසෙක්. සාමාන්‍ය පුරවැසියෙක්. මට මේ විශාල ගොඩනැගිලි ගැළපෙන්නේ නැහැ. මෙවැනි ගොඩනැගිලිවල ජීවත්වන විට මිනිස්සු වෙනස් වෙනවා. සමහර විට මුල අමතක වෙන්නත් බැරි නැහැ.“ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය සහ ගෝර්ඩ්න් උද්‍යානය පාසල් සිසුන් ඇතුළු මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව ඊයේ (08) සිට සලසා දී තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මේ සඳහා කටයුතු කර තිබෙන අතර එය ඊයේ සිට ජූනි 14 වනදා දක්වා පාසල් සිසුන්ට සහ පොදු ජනතාවට නැරඹීමට අවස්ථාව උදා වෙයි.
ආණ්ඩුකාරවරුන් විසිනව දෙනෙකු සහ ජනාධිපතිවරුන් හයදෙනෙකු තම රාජකාරී කටයුතු සහ වාසස්ථානය සඳහා යොදා ගත් නිලමැදුර වන කොටුව ජනාධිපති මන්දිරය ජනතාවට විවෘත වන්නේ ඉතිහාසයේ ප‍්‍රථම වරටය.

නව දේශපාලන ගමන් මඟක සම්ප‍්‍රදාය විවර කරමින් මෙතෙක් පොදු ජනතාවට ඇතුළුවීමට නොහැකි ලෙස වසා තිබූ රජ ගෙදර දොරටු පොදු ජනතාවට විවෘත කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. ඊයේ සිට ජූනි 14 වනදා දක්වා ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා ජනාධිපති මන්දිරය නැරඹීමට අවස්ථාව සලසා තිබෙන අතර 077- 3086366 දුරකථන අංකය ඔස්සේ ජනාධිපති සහකාර ලේකම්, විමර්ශන චතුරංග මහතා සම්බන්ධ කර ගැනීම මගින් හෝ 0714- 241802 දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad