එස්.බී. සනසන්න ජනපති මෛත‍්‍රී හෙලිකොප්ටර දෙකකින් හඟුරන්කෙත යයි.. [PHOTOS] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, April 21, 2016

එස්.බී. සනසන්න ජනපති මෛත‍්‍රී හෙලිකොප්ටර දෙකකින් හඟුරන්කෙත යයි.. [PHOTOS]

සිංහල හා දෙමළ අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත පසුගිය 16 වෙනිදා පෙ.ව. 10.41ට යෙදී තිබුනි. 

හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට තමන් හඟුරන්කෙත මාදන්වෙල රජ මහා විහාරයට පැමිණෙන බව ජනාධිපතිවරයා පොරොන්දු වී සිටි නිසා එස්.බී. දිසානායක ඇමතිවරයා හා හඟුරන්කෙත ශ්‍රීලනිප ප්‍ර‍ධාන සංවිධායක ඇමතිවරයාගේ වැඩිමහල් පුත් නාරද දිසානායක මහතා හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය හඟුරන්කෙතදී පැවැත්වෙන බවට පූර්ව ප්‍ර‍චාරක කටයුතු ද දියත් කළේය.

එහෙත් කලින් දින ( 15 ) ඇමතිවරයාට දැනගන්නට ලැබුනේ ජනාධිපතිවරයා රාජිත සේනාරත්න මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට මුලින්ම සහභාගි වන බවයි.මේ නිසා එස්.බී. ඇමතිවරයාගේ හිත කණස්සල්ලට පත්විය.


එහෙත් බේරුවල ගොස් තමන් කෙලින්ම හඟුරන්කෙතට පැමිණෙන නිසා උත්සවය ඒ ආකාරයටම පවත්වන ලෙස ජනාධිපතිවරයා එස්.බී.දිසානායක ඇමතිවරයාට දැනුම් දුන්නේය.ඉන් උද්දාමයට පත් ඇමතිවරයා තම පුතු නාරදට උපදෙස් දුන්නේ හිසතෙල් ගෑමේ උත්සවය එළෙසම පවත්වන්නට කටයුතු කරන ලෙසයි.

පෙ.ව. 10.41 ට යෙදුනු නැකතට ජනාධිපතිවරයා බේරුවල දී හිසතෙල් ගෑ අතර එස්.බී. ඇමතිවරයා හඟුරන්කෙත දී නැකතට හිසතෙල් ගෑවේය. හිසතෙල් ගෑමෙන් පසුව ඇමති දිසානායක මහතා කිසිදු ආරක්ෂකයෙක් රහිතව ජීප් රථයේ රියදුරු සමඟ පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාල ක්‍රීඩාංගණයට පැමිණියේය. එහිදී මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පති පෙරමුණේ මහතාද දිසානායක මහතාට හමුවිය

හරියටම හිසතෙල් ගෑමේ නැකත පසුවී පැයක් ගතවෙන්නට මත්තෙන් පෙ.ව. 11.36 ට ජනාධිපතිවරයා රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI25 හෙලිකොප්ටර් යානාව හා පරිවාර යානය හඟුරන්කෙත පොරමඩුල්ල මධ්‍ය මහ විද්‍යාල ක්‍රීඩාංගණයට ගොඩ බැස්සේය.ඉන් මිනිත්තු 05 කට පසුව පෙ.ව. 10.41 ට ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් පිටතට පැමිණි අතර ඇමති දිසානායක මහතා යානාව අසලටම ගොස් ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගත්තේය.

පසුව දෙදෙනා පමණක් ජනාධිපතිවරයාගේ නිල රථයට නැගී මාදන්වෙල රජමහ විහාරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවිය. ජනාධිපතිවරයා එහිදී ජාතිය ඇමතූ අතර එය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සජීවීව මුළු රටටම විකාශය කෙරිනි. ඉන්පසු ජනාධිපතිවරයා ඇමති දිසානායක මහතාද කැටුව නැවත තම නිල රථයට නැගී දිසානායක මහතාගේ නිවසට පැමිණියේය.


ඇමතිවරයාගේ හඟුරන්කෙත නිවසේදී ජනාධිපතිවරයා උණුසුම් ලෙස පිළිගත්තේ ඇමතිවරයාගේ බිරිඳ තමරා දිසානායක මහත්මිය ඇතුළු පවුලේ උදවිය හා දේශපාලන හිතවතුන් පිරිසකි. දිසානායක මහතාගේ නිවසේදී පැමිණ සිටි පිරිස හා සතුටු සාමිචියේ යෙදුනු ජනාධිපතිවරයා තමරා දිසානායක මහත්මියගේ ඇරයුමෙන් දිවා ආහාරයද ගෙන දිසානායක පවුලේ අය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියේය.

ප.ව.1.10 ට ඇමති දිසානායක මහතා සමඟ නැවත පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණය වෙත යාම සඳහා සිය නිළ රථයෙන් පිටත්වූ ජනාධිපතිවරයා හා ඇමති දිසානායක මහතා අතර සිදුවූ කථා බහ පිළිබඳ තොරතුරු සැමට රහසක් විය.

එහෙත් ජනාධිපතිවරයාගේ හඟුරන්කෙත ගමනෙන් පසු මැයි 01 වෙනිදාට පෙර යොදා තිබූ බොහෝ කටයුතු අවලංගු කල දිසානායක ඇමතිවරයා ගාල්ලේ මැයි රැළිය සාර්ථක කර ගැනීම සඳහා කටයුතු සංවිධානය කිරීමට පටන් ගත්තේය.

– සංජය දසනායක






 

No comments:

Post a Comment

Post Bottom Ad