රටේ ඉරණම තීන්දු කරන්නේ හෝමාගමයි - ඇමති පාඨලී හෙළි කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 17, 2016

රටේ ඉරණම තීන්දු කරන්නේ හෝමාගමයි - ඇමති පාඨලී හෙළි කරයි

හෝමාගම ප‍්‍රදේශය ඊළග අවුරුදු දහයේ රටේ ඉරණම තීන්දු කරන ප‍්‍රදේශයක් හැටියට පරිවර්තනය වෙන බවත් නව උත්පාදනය සඳහා ගොඩනැගෙන විද්‍යාඥයින්ගේ නගරය ගොඩනැගෙන්නේ හෝමාගම බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් අපි ඉදිරි අවුරුදු පහ හය ඇතුළත හෝමාගම ගොඩනගන බවද පසුගියදා හෝමාගම ඉඹුල්කන්ද ශ‍්‍රී සම්බුද්ධි විහාරස්ථානය පූජා භූමියක් බවට පත්කොට, විහාරස්ථානයේ ඉඩම නිදහස් දීමනා පත‍්‍රයක් මගින් විහාරස්ථානය වෙත සග සතු කොට පූජා කිරීමේ උත්සව අවස්ථාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

“ඒ වගේම මේ බස්නාහිර  මහා නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන ඇමතිවරයා හැටියට මම කියන්න ඕනේ මේ හෝමාගම ප‍්‍රාදේශය ඊළග අවුරුදු දහයේ මේ රටේ ඉරණම තීන්දු කරන ප‍්‍රදේශයක් හැටියට පරිවර්තනය වෙනවා. අපි ඉතාමත්ම බලගතු ආර්ථික කි‍්‍රයාවලියක් අපි දියත් කරලා තිබෙනවා නව උත්පාදනය. ඒ නව උත්පාදනය සඳහා ගොඩනැගෙන විද්‍යාඥයින්ගේ නගරය ගොඩනැගෙන්නේ හෝමාගමයි. 

ඒ සඳහා අවශ්‍ය කරන යටිතල පහසුකම් අපි ඉදිරි අවුරුදු පහ හය ඇතුළත හෝමාගම ගොඩනගනවා. ඒක නිසා මේක විශිෂ්ඨ නගරයක්, බුද්ධිමතුන්ගේ වැදගතුන්ගේ නගරයක්, සිංහල බෞද්ධයින්ගේ අග නගරයක් බවට පත් කරන්න අපි සියළු දෙනාම අධිෂ්ඨාන කර ගන්න ඕනේ. මොකද අද කොළඹ නගරය ජනගහනය පැත්තෙනුත්, සමාජීය පැත්තෙනුත්  ගොඩාක් දුරට ඇද වැටිලා තියෙනවා. 

1992 ත් කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ පනස්දාහයි. අදත් කොළඹ නගරයේ ජනගහනය හයලක්‍ෂ පනස්දාහයි. මේ අවුරුදු 20 ඇතුලේ ජනතාව එළියට ගියා ජනතාව ඇතුළට ආවා කොළඹ ජනගහනය වෙනස් වෙලා නැහැ. නමුත් අද මේ ජනගහනය වේගයෙන්ම වර්ධනය වෙන ප‍්‍රදේශ තමයි අපේ මේ හෝමාගම කඩුවෙල වගේ ප‍්‍රදේශ. ඒ නිසා වැදගත් පිරිස මෙහේ පදිංචි වෙනවා, 

දැනඋගත් පිරිස මෙහේ පදිංචි වෙනවා. සම්ප‍්‍රදායක උරුමයක් සහිත ප‍්‍රදේශයක්. ඒ උරුමයත් රැකගෙන මේක ප‍්‍රධාන නගරයක් බවට අපි පරිවර්තනය කරගත යුතුයි.  ඒ සඳහා පක්ෂ භේදයෙන් තොරව මේ ප‍්‍රදේශය දියුණු කර ගන්නට අපි සියළු දෙනාම උත්සාහවන්ත විය යුතුයි.“ 

No comments:

Post a Comment

Post Bottom Ad