'සන්ධානයේ නායකයකු අගමැති කරන්න' -දිනේෂ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 26, 2015

'සන්ධානයේ නායකයකු අගමැති කරන්න' -දිනේෂ්

ඉදිරි මහ මැතිවරණයට පෙර සුළුතර එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව ඉවත් කර එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ බහුතර ආණ්‌ඩුවක්‌ පිහිටුවා අගමැතිවරයකු පත්කර ගත යුතු බවට එකඟතාවක්‌ සන්ධාන නායකයන් ඇති කර ගත් බව මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

සන්ධාන පක්‍ෂ නායකයන් ඇති කරගත් මෙම එකඟතාව පිළිබඳ වූ තීරණයක්‌ ගැනීමට ඒ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම්දී ඇති බවත් හෙතෙම පැවසීය. නාරාහේන්පිට අභයාරාමයේදී ඊයේ (25 දා) පැවැති මාධ්‍ය හමුවේදී දිනේෂ් ගුණවර්ධන මහතා මෙම කරුණු අනාවරණය කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන් වන විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්‌ස විතාරණ, වාසුදේව නානායක්‌කාර, ආරුමුගම් තොණ්‌ඩමන්, ඒ. එල්. එම්. අතාවුල්ලා, එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා, ඩග්ලස්‌ දේවානන්ද යන මහත්වරුන් පසුගිය සතියේ රැස්‌ව මේ පිළිබඳව සාකච්ඡා කර එම යෝජනාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම පැවසීය.

වත්මන් එ.ජා.ප ආණ්‌ඩුව යටතේ රට අරාජික තත්ත්වයට පත්ව ඇති බැවින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට ආණ්‌ඩු බලය ලබාගෙන අගමැතිවරයකු පත් කර ගත යුතු බවත් ඉන්පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට යැමට කටයුතු කරන බවත් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

සන්ධානයේ අගමැතිවරයා තීන්දු කිරීමේ ගැටලුවක්‌ නොමැති බවත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ගෙදර යවා සන්ධාන ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට ජනාධිපතිවරයා සූදානම් නම් අගමැතිවරයා කවුරුන්ද යන්න හෙළි කිරීමට හැකි බවත් මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා එම ධුරයට පත්වනවිට අගමැති ධුරය දැරුවේ දි. මු. ජයරත්න මහතා බවත්, ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් එතුමා ඉන් ඉවත් කර නීති විරෝධීව සුළුතර බලයක්‌ ඇති අගමැතිවරයකු පත් කළේ කෙසේදැයි මන්ත්‍රීවරයා විමසා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad