වසර 12කට පසු ආසියානු ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව රනින් බබළවති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 3, 2014

වසර 12කට පසු ආසියානු ක්‍රීඩා උළෙලකදී ක්‍රිකට් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව රනින් බබළවති

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මාතා ගීතය වැයෙද්දී සිංහ ධජය ඉහළට ඔසවා ක්‍රිකට් රන් කිරුළ පැළදීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. 

දකුණු කොරියාවේ ඉංචියොන් යෙන්හූයි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද පැවැති තරගයෙන් ඇෆ්ගන්ස්තානය ලකුණු 68කින් පැරදවූ ක්‍රිකට් ක්‍රීඩකයෝ වසර 12කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමේ ඓතිහාසික අවස්ථාව ද සටහන් කළහ. 

එමෙන්ම ළහිරු තිරිමාන්න ශ්‍රී ලංකාවෙන් පිටත නායකත්වය ඉසිලූ පළමු සංචාරයේදීම ජය වාර්තා කිරීම තවත් විශේෂත්වයකි.

මේ තරගය නැරැඹීමට කොරියාවේ සේවය නියුතු 2000ක පමණ ශ්‍රී ලංකික තරුණ පිරිසක් පැමිණ සිටි අතර ඔවුන්ට ජීවිතයේ අමතක නොවන ආශ්වාදයක් ලැබුණු බව පැහැදිලි විය. 

කාසියේ වාසිය දිනූ ළහිරු තිරිමාන්න මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඕවර් 19.1කදී සියලු දෙනා දැවී ලකුණු 133ක් වාර්තා කළහ. 

අනතුරුව ඇෆ්ගනිස්තානය ඕවර් 17.4කදී ලකුණු 65කට දවා ගැනීමට ශ්‍රීලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පිත්තෙන් දස්කම් දැක්වූ ළහිරු තිරිමාන්න පන්දු 37කදී හතරේ පහර 7ක් හා හයේ පහරක්ද සමග ලකුණු 57ක් රැස් කළ අතර දිනේෂ් චන්දිමාල් අනගි සහයක් දෙමින් හයේ පහරක් හා හතරේ පහර 3ක්ද සමග ලකුණු 33ක් ලබා ගත්තේය. 

ඇෆ්ගන් ඉනිම කඩා බිඳ දමා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පහසු කළ ජීවන් මෙන්ඩිස් ලකුණු 13කට කඩුලු 3ක්ද, ඉසුරු උදාන හා චතුරංග ද සිල්වා කඩුලු දෙක බැගින් ද බිඳ හෙලූහ.

ඇෆ්ගනිස්තානය පළමු ඕවරයේ දී ශ්‍රී ලංකා පිලට එරෙහිව ලකුණු 9ක්ද, දෙවැනි ඕවරයේදී තවත් ලකුණු 2ක්ද, තෙවැනි ඕවරයේදී ලකුණු 9ක් ද ලබා අවශ්‍ය වේගයට පැමිණෙමින් සිටියදී වමතින් වේග පන්දු යැවූ ඉසුරු උදාන තම දෙවැනි පන්දු ඕවරයේ දී ඇෆ්ගන් කඩුලු දෙකක් බිඳ හෙලීම තරගයේ වාසිය ශ්‍රී ලංකාවට හරවා ගැනීමේ පළමු අවස්ථාව විය. 

එම ඕවරය ලකුණු ලබා නොදුන් ඕවරයක් හෙයින් අනතුරුව පිටියට පැමිණි ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට පීඩනය වැඩි විය. තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් තම පළමු ඕවරයේදී ම සාර්ථක ප්‍රතිපල නෙලාගත් අතර ඔහුගේ දෙවැනි ඕවරයේ දී ලකුණු නොදී කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.  

ඇෆ්ගනිස්තාන පිතිකරුවන් හය දෙනෙකුම ලකුණු පහේ සීමාවට ළඟාවීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පිල පන්දු රැකීමේදී ද විශිෂ්ඨ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය.

තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ළහිරු තිරිමාන්න පැවැසූවේ මේ ක්‍රිකට් පිල අනාගත විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් පිල වීමට බොහෝ සෙයින් ඉඩ ඇති බවය. “අපේ තරුණ ක්‍රීඩකයින් ඉතා හොඳින් ක්‍රීඩා කළා. මේ සියලු ක්‍රීඩකයින් ඉතා ක්‍රියාශීලීයි. 

ආසියානු ක්‍රීඩා උළෙලේ අපට හොඳ පහසුකම් තිබුණේ නෑ. අවම වශයෙන් පුහුණුවට හො තණතිල්ලක්වත් සකසා තිබුණේ නෑ. අපි ඕනෑම අභියෝගයකට මුහුණදී තරගය ජය ගන්න අපේක්ෂාවෙන් පැමිණියේ“ තිරිමාන්න පැවැසීය. ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම ඇෆ්ගනිස්තානයට හා ලෝකඩ පදක්කම බංග්ලාදේශයට හිමි විය.

ප්‍රින්ස් ගුණසේකර
උපුටා ගැනිම දිනමිණ

No comments:

Post a Comment

Post Bottom Ad