කුවේටයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කොරෝනා.. දැනටමත් සිව් දෙනෙක් මිය ගිහින් ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 27, 2020

කුවේටයේ සිටින ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කොරෝනා.. දැනටමත් සිව් දෙනෙක් මිය ගිහින් !

වීසා රහිතව නීති විරෝධීව කුවේට් රාජ්‍යයේ රැඳී සිටින සහ එරට රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මේ වනවිට කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බව කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානය පවසයි.
එරට ෆර්වානියා , අහමදි , හවාලි , ජහරා සහ කුවේට් සිටි යන ප්‍රදේශ වල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මෙසේ කොරෝනා වයිරසයට ගොදුරු වී සිටින බවත් මේ වනවිට එම පිරිසෙන් කාන්තාවක් ඇතුළු සිවුදෙනෙකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බවත් කුවේට් ශ්‍රී ලංකා එකමුතු සංවිධානයේ කැඳවුම්කරු නිශාන්ත සංජීව මඩපාත මහතා ප්‍රකාශ කළේය .

නීත්‍යානුකූලව එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් වයිරසය ආසාදනය වී ඇති බහුතරය කුලී රථ රියදුරන් ලෙස රැකියාවල නියුතුව සිටින අය බවද කියයි.

මෙසේ රෝගාතුර වන විදේශිකයන්ට කුවේට් රජයෙන් කිසිදු සැලකිල්ලක් නොලැබෙන බවත් රෝගාතුර වූවන්ට බෙහෙත් පෙත්තක්වත් නොලැබෙන බවත් මඩපාත මහතා පැවසීය.

මීට දින කීපයකට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී මරණයට පත්වූ ශ්‍රී ලාංකීය කාන්තාවගේ සැමියාට සහ දරුවන් දෙදෙනාටද වයිරසය ආසාදනය වී ඇතැයි සැක කැන අතර ඔවුන් කිසිදු පරීක්ෂාවකට ලක් නොකොට නිවසට වී සිටින ලෙස එරට සෞඛ්‍ය නිලධාරීන් නියමකර ඇතැයි මඩපාත මහතා කීය.

මේ ආකාරයට වයිරසයට ගොදුරු වී සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පිරිස වීසා බලපත්‍ර රහිතව නීති විරෝධි ආකාරයට කිසිදු පහසුකමක් නොමැතිව ඉතා අසරණව එරට රැඳී සිටින අය බවත් මේවනවිට ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම වාර්තා වන කොරෝනා ආසාදිතයන් පිරිස මේ ආකාරයට කුවේට් රටේ රැඳී සිට ශ්‍රී ලංකාවට පැමිණි පිරිසක් බවත් නිශාන්ත මඩපාත මහතා සඳහන් කළේය .

මේ ආකාරයට එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස මීට මාසයකට පමණ ඉහතදී ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි බවත් එම ඉල්ලීමට අනුව ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත්තානම් ඔවුන් කොරෝනා වයිරසයට ගොදුරු නොවන බවත් ඒ මහතා කීය.

තවත් විශාල පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ට ආහාරපාන පවා නොමැතිව අසරණවී සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවනවිට කුවේට් රාජ්‍යයේ පුද්ගලයන් 172 කු මියගොස් සිටින අතර ඊයේ (26) දිනට එරටින් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 22575 කි

මේවනවිට දිනකදී එරටින් කොරෝනා වයිරසය ආසාදනය වූවන් දහසක් පමණ වාර්තා වන බවද පැවසේ . මෙම තත්ත්වය හමුවේ මේවනවිට දින 20 කට වැඩි කාලයක සිට එරට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇති බවද ඒ මහතා පැවසීය.

– lankadeepa


No comments:

Post a Comment

Post Bottom Ad