අලූත්ම බුද්ධි අංශ වාර්තාවෙන් ශ‍්‍රීලනිපය හතරවැනියා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, January 30, 2018

අලූත්ම බුද්ධි අංශ වාර්තාවෙන් ශ‍්‍රීලනිපය හතරවැනියා..

ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් මතක් වී ඇත්තේ නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් සිවුවැනි තැනට ඇද වැටෙන බවට බුද්ධ අංශ ලබා දුන් වාර්තාව නිසා බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

පක්ෂය සිරිකොතේ වළං හෝදන තත්ත්වයට පත් කර පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබූ රනිල් වික්‍රමසිංහ අගමැති බවට දෙවරක්ම පත් කළ ජනාධිපතිවරයාගේ සැබෑ වුවමනාව වී ඇත්තේ නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදීම නොව ඉදිරි මැතිවරණයෙන් සායම බේරා ගැනීම පමණක් බවත් රණතුංග මහතා පැවසීය. ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. 

මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

පළාත් පාලන මැතිවරණයට තියෙන්නේ තව සති දෙකකට අඩු කාලයක්. මේ මැතිවරණය අපි බලෙන් ලබාගත්තු මැතිවරණයක් ‍මිසක් ආණ්ඩුව කැමැත්තෙන් දීපු මැතිවරණයක් නෙමෙයි. පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වෙලා වසර දෙකකටත් වැඩි කාලයක් ගියත් ආණ්ඩුවට මැතිවරණයක් තියන්න වුවමනාවක් තිබුණේ නැහැ. ආණ්ඩුව බැලුවේ පුළුවන්තරම් මැතිවරණය කල්දාගන්නයි. ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුව තුළ වගේම පාර්ලිමේන්තුවෙන් පිටත් කරපු අරගල නිසයි ආණ්ඩුවට මැතිවරණය තියන්න වුණේ. 

ප්‍රජාතන්ත්‍රවාදයේ උරුමක්කාරයන් වගේ කතාකරන ආණ්ඩුව අවුරුදු දෙකක්ම ජනතාවගෙන් ඡන්ද අයිතිය උදුරාගෙන තිබුණා. යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් දැන් අවුරුදු තුනක් ගෙවිලා ඉවරයි. එදා ජනාධිපතිවරණයේ දී ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ඨ නොකරපු ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට ආයෙමත් ජනතාව මතක් වෙලා තියෙන්නේ ඡන්දය කට උඩටම ආවට පස්සෙයි. ජනාධිපතියි අගමැතියි දැන් වේදිකාවල තරගෙට කිඹුල් කඳුලු හෙලන්න පටන් අරන්.

ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපති ධූරයේ කටයුතු දැන් කරන්නේ දේශපාලන වේදිකාවලට නැගලයි. ඒවා දේශපාලන රැලිවලටත් වඩා ජනාධිපති කාර්යාලයේ නිල රැස්වීම් වගෙයි. අරවා දෙනවා, මේවා දෙනවා, අරවා ක්‍රියාත්මක කරනවා ඔන්න ජනාධිපතිවරයා දේශපාලන රැලිවලට ගිහින් කියන දේවල්. එතුමා අවුරුදු තුනක් බලයේ හිටියා. කරපු කෙංගෙඩියක් නැහැ. දැන් බොරුවට වේදිකා දෙවනත් වෙන්න කෑගැහුවට වැඩක් නැහැ. මං අහගෙන ජනාධිපතිවරයා කියනවා සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රිවරුන් 96 දෙනා එනවා නම් හෙට වුණත් ආණ්ඩුවක් හදනවා කියලා.

ජනාධිපතිවරයා හීනෙන් නැගිටලා කියන කියන පලියට ආණ්ඩු හදන්න පුළුවන්කමක් නැහැ. එතුමට අමතක වෙලා 2015 ජනවාරියේ මෙන්ම 2015 අගෝස්තුවේදිත් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබ්බ රනිල්ට අගමැතිකම දුන්නේ එතුමම කියලා. දැන් ජනතාව රවට්ටන්න බොරු බයිලා ගහනවා. අපි එදා අගෝස්තු ඡන්දෙන් පස්සේ කිව්වා ආණ්ඩුවක් හදමු කියලා. අපේ කතාවට කන්නොදී රනිල් අගමැති කරලා එක්සත් ජාතික පක්ෂයේ අයට හොඳ ඇමැතිකම් දීලා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිරිකොතේ වළං හෝදන තැනට පත් ‍කළේ අද ඔය සිංහ නාද පවත්වන ජනාධිපතිවරයාම තමයි.

අදටත් එක්සත් ජාතික පක්ෂයේ පිළිකන්නේ ලැගගෙන ඉන්න ගමන් නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න කතා කරන්නේ ජනතාව නොමඟ යැවීමේ අරමුණෙන්. ජනාධිපතිවරයාට නිදහස් පක්ෂය මතක් වෙලා තියෙන්නේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ‍ප්‍රතිඵල ගැන ලැබුණු බුද්ධ අංශ වාර්තාවක් නිසයි. එතුමා දැන් හොඳටම දන්නවා මේ පාර ඡන්දෙන් නිදහස් පක්ෂය වැටෙන තැන. ඒ හින්දා දැන් මහින්ද මහත්තයා ගාව ඉන්න ඡන්දදායකයෝ ටිකක් ඒ පැත්තට ගන්න මේ වගේ බොරු කතා කියනවා. හැබැයි සිරිසේන මහත්තයෝ ඔයාගේ බොරු කතාවලට 2015 දී රැවටුණු අයවත් මේ පාර රැවටෙන්නේ නැහැ කියලා මතක තියා ගන්න.

ජනාධිපතිවරයයි අගමැතිවරයයි දැන් වටවෙලා මහින්ද මහත්තයට ගහනවා. එතුමගේ සිවිල් අයිතිවාසිකම් නැති කරනවලු. එතකොට රුපියල් බිලියන ගණන් ගසාකාපු බැඳුම්කර හොරුන්ගේ සිවිල් අයිතිවාසිකම් නැති කරන්නේ කවදාද කියලා අපි අහනවා. මේ රටේ බහුතර ජනතාව දැන් ඉන්නේ මහින්ද මහත්තයා එක්කයි. ඒක නැති කරන්න රනිල්ට, සිරිසේනට බැහැ. මහින්ද මහත්තයට අත තියන්න ආවොත් මේ ජනතා බලවේගයේ තරම රනිල්ලට සිරිසේනලට බලා ගන්න පුළුවන්. 

ඒ ජනබලයේ තරම අපි පෙබරවාරි 11 වැනිදට එළිවෙනකොට ආණ්ඩුවට වගේම ආණ්ඩුවට කඩේ යන අනෙක් දේශපාලන පක්ෂවලටත් බලාගන්න පුළුවන්. මේක මේ දේශද්‍රෝහී ආණ්ඩුවේ අවුරුදු තුන ගැන ජනතාවගේ මතය විචාරණ ජනමත විචාරණයක්. මේ ආණ්ඩුවට විරුද්ධව ජනතාව වෙනුවෙන් පෙනී සිටින එකම බලවේගය පොහොට්ටුව පමණයි. අපි දිනුවොත් විතරයි මේ ආණ්ඩුව ගෙදර යවන්න පුළුවන්. ඒ නිසා නෑදෑ මිත්‍රකම්, ගමේකම් අමතක කරලා මේ පාර පොහොට්ටුව දිනවන්න කියලා මම ඉල්ලා සිටිනවා.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad