සෞදියෙන් ශ්‍රී ලාංකික ඥාතීන් වෙත ඉල්ලීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

සෞදියෙන් ශ්‍රී ලාංකික ඥාතීන් වෙත ඉල්ලීමක්

සිය පවුලේ සාමාජිකයන් නීති විරෝධී ලෙස සෞදි අරාබියේ රැඳී සිටින්නේ නම් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙන් ඔවුන් දැනුවත් කරන ලෙස එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගෙන් ඉල්ලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

රැකියා සඳහා සෞදි අරාබියට ගොස් ගිවිසුම් කාලය ඉක්ම වූ පසුවත් එරට නීති විරෝධීව රැඳී සිටින පුද්ගලයන් සඳහා ලබා දී ඇති පොදු සමා කාලය දීර්ඝ කර ඇති බව විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය පවසයි. අදාළ කාල සීමාව තුළ සෞදි අරාබියෙන් පිට නොවී තවදුරටත් එහි රැඳී සිටින්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන දඩ මුදලකට ද යටත් කර නැවත එහි පැමිණිය නොහැකි ලෙස පිටුවහල් කෙරෙනු ඇති බවටත් විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශය අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.

මාස තුනක් දක්වා ලබා දී තිබූ පොදු සමා කාලය ජුලි 23 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට සෞදි අරාබි රජය තීන්දු කර ඇති බව එහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දන්වා ඇතැයි විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරළ නිකුත් කළ නිවේදනයක දැක්වේ. 2017 වසරේ මාර්තු  21 සිට ජුනි 25 දක්වා හඳුන්වා දෙනු ලැබූ පොදු සමා කාලය තුළ සෞදියේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 4,500 ට ආසන්න සංඛ්‍යාවකට ගමන් බලපත්‍ර නිකුත් කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

පොදු සමා කාලය තුළ සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රමිකයන්ට නැවතත් නීත්‍යානුකූල ලෙස එහි පැමිණිය හැකි බව ශ්‍රී ලංකා තානාපති අස්මි තාසීම් පවසයි. මේ අතර 2017 වසරේ ජනවාරි 01 වෙනිදා සිට ජුලි 03 වෙනිදා දක්වා වූ කාලය තුළ විදේශ රැකියා නියෝජිත ආයතන 67 ක් අසාදු ලේඛන ගත කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad