‘අයියෝ සනා’… ඇයි මෙහෙමත් තේරිල්ලක්‌ සහ කැපිල්ලක්‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

‘අයියෝ සනා’… ඇයි මෙහෙමත් තේරිල්ලක්‌ සහ කැපිල්ලක්‌

කප්පරක්‌ සැලසුම් මඟින් ලෝක කුසලාන ඉලක්‌කයකට සිහින මවන ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ශ්‍රේණිගත කිරීම්වල අගාධයටම තල්ලු වෙමින් සිටියි. එහෙව් ක්‍රිකට්‌ කණ්‌ඩායමක්‌ ජයග්‍රහණය කරවන නඩය තෝරන මහ පුටුව යළිත් සනත් ජයසූරියටම භාරදී තිබෙන්නේ හය මසක කොන්ත්‍රාත් කාලයකටය. අසන්ත ද මැල්ගෙන් පසුව වැඩිම කාල සීමාවක්‌ ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයාව සිටි සනත් ජයසූරිය තේරීම්වලින් මේ වන විට වාර්තාවක්‌ පිහිටුවීමත් සමඟ ඔහුගේ පුටුවද රත්වෙන්නට පටන්ගෙන තිබේ. 

සනත් ජයසූරිය යනු ශ්‍රී ලංකාවේ බිහිවූ ක්‍රිකට්‌ කප්පිත්තෙකි. ඒ ගැන තර්කයක්‌ නොමැත. එබැවින් ඔහුට ක්‍රිකට්‌ උණ තිබෙන බව නම් සැබෑය. ඔහු මෙරට බහුතරයකටම ක්‍රිකට්‌ ඇම්ම හැදුවූ ප්‍රහාරාත්මක පිතිකරුවෙකි. තරග වෙනස්‌ කළ දඟයෙකි. ඒ හපන්කම් නිසා ඔහුගේ නම ඉදිරියේ ලෝක වාර්තා කිහිපයක්‌ම සටහන්වී තිබේ. නමුත් සනත් තේරීම් කමිටු සභාපතිවරයා වීමෙන් පසුව පිහිටුවා තිබෙන වාර්තාවනම් ගිනස්‌ වාර්තාවක්‌ බඳුය. ඔහුගේ තේරීම් වලින් ඇතැම් ක්‍රීඩකයන් ගිරයට හසුවෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ද පරාජයන් වැලක එල්ලී බංග්ලාදේශයෙන් සහ සිම්බාබ්වේ හමුවේ ඇන ගත්තේය. දැන් ජයසූරිය බලන කෝණය අනුව දිනේෂ් චන්දිමාල්ට ක්‍රිකට්‌ බැරිය. 

ජයසූරිය ක්‍රීඩා කරන කාලයේ එල්ල කළ ක්‍ෂණික පහරවල් මෙන් ඔහුගේ තේරීම්ද ක්‍ෂණිකවම වෙනස්‌ වේ. එබැවින් ඔහු 2014 වසරේ සිට මේ දක්‌වා ශ්‍රී ලංකා එක්‌දින පිලට පමණක්‌ ක්‍රීඩකයන් 40 දෙනකු තෝරා තිබේ. එම ක්‍රීඩකයන් බහුතරයක්‌ එක්‌දින තරග පහක්‌ හෝ හයක්‌ ක්‍රීඩා කළ ගෙදර ගිය අය වෙති. අනාගත ආයෝජනයකට සිටි දිනේෂ් චන්දිමාල්ව හිටි හැටියේ ගහෙන් බිමට තල්ලූ කර දැමූ ජයසූරිය ඔහුව එක්‌දින පිලෙන් එළියට විසි කර දැමුවේය. කපිල විඡේගුණවර්ධන 2015 ලෝක කුසලානයෙන් පසුව මාස කිහිපයක්‌ තේරීම් කමිටු සභාපතිවරයා වීම හැර 2013 වසරේ සිට ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලබයි. 

අවසන් වසර තුනේදී එනම් 2014 සිට මේ දක්‌වා ලොව වැඩිම ගණනකට එක්‌දින වරම් දුන් ක්‍රිකට්‌ සභාපතිවරයා ලෙස ජයසූරියට දැන් කොල්ලන්ට කියන්නට තියෙන්නෙ, “මම නිසා බොලාව ශ්‍රී ලංකා ගැස්‌සුවා” කියා පමණි. එසේ වන්නේ ජයසූරිය උන්ට හැදෙන්නට දුන්නේ නැති නිසාද නැතිනම් උන් හැදුනේ නැති නිසාද යන්නත් දන්නේ ජයසූරියම පමණි. කෙසේ වෙතත් අවසන් තෙවසරක කාලයේදී අනෙකුත් රටවල්වල එක්‌දින වරම් ලැබූ ගණනට වඩා ජයසූරිය තෝරපු තේරිල්ල දෙතුන් ගුණයකටත් වඩා ඉහළය. 

පසුගිය සිව් වසරේදී ඉන්දියාවේ 17 ක්‌, ඔස්‌ටේ්‍රලියාවේ 15 ක්‌, බංග්ලාදේශයේ 26 ක්‌, එංගලන්තයේ 15 ක්‌, දකුණු අප්‍රිකාවේ 9 ක්‌, පකිස්‌තානයේ 16 ක්‌, නවසීලන්තයේ 8 ක්‌, සිම්බාබ්වේ 16 ක්‌ සහ බටහිර ඉන්දීය කොදෙව්හී 12 ක්‌ වශයෙන් එක්‌දින කණ්‌ඩායමට අලුතින් ක්‍රීඩකයන් ඇතුළත් කර තිබේ. එම රටවල ක්‍රීඩකයන් එන ක්‍රමය හෝ අධීක්‍ෂණය කිරීමට ජයසූරියගේ තේරීම් කමිටුවේ සිටින කලූවිතාරණ, එරික්‌ උපශාන්ත, රංජිත් මධුරසිංහට හෝ නොහැකි විය. දැන් ඔවුන්ට තවත් සහයකයකු සිටියි. ඒ ගුරුසිංහය. 

එකම බෝට්‌ටුවේ යන මේ තේරීම් කමිටුව ලොව කිසිම රටක නොකරන තේරීම් ගොන්නක්‌ සමග ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අගාධයට තල්ලූ කර දමන බව එම වාර්තාවලින් සකස්‌ සුදක්‌ සේ පැහැදිලි වේ. දිනේෂ් චන්දිමාල් යනු ශ්‍රී ලංකාවේ අනාගත ක්‍රිකට්‌ ඔටුන්න පළඳවන්නට සූදානම් කළ ක්‍රීඩකයෙකි. ඔහුද ජයසූරියගේ තේරීම් කමිටු න්‍යායේ ගිරයට හසුව තිබීම කනගාටුවට කරුණකි. 2010 වසරේ එක්‌දින වරම් ලැබූ චන්දිමාල් පළමු තරග පහ ඇතුළතදී ඉන්දියාවට සහ එංගලන්තයට එරෙහිව ශතක වාර්තා කිරීමට තරම් දක්‍ෂ විය. ඔහු කණ්‌ඩායමෙන් එළියට විසි කිරීමට පෙර ක්‍රීඩා කළ අවසන් ඉනිම පහේදී අර්ධ ශතකයක්‌ සමග ලකුණු 116 ක්‌ ලබා තිබේ. 

ඉන් දෙවතාවකදීම චන්දිමාල් දුවද්දී දැවී ගොස්‌ ඇත. 2016 වසරේ චන්දිමාල්ගේ ඉනිමක සාමාන්‍ය 59 කි. ජයසූරියගේ මේ තේරිල්ල ක්‍රිකට්‌ ආයතනයේ ලොක්‌කන්ද අනුමත කරයි. එයට හේතුව ජයසූරිය කණ්‌ඩායම තෝරනු ලබන්නේ ‘සැමට සතුට’ බෙදන ආකාරයටද යන්න ප්‍රහෙළිකාවකි. ඒ අනුව 2019 ලෝක කුසලානට යන ශ්‍රී ලංකා පිල තවමත් එක්‌දින වරම් ලබා නොතිබේද? යන්නත් ගැටලුවකි. මේ සම්බන්ධව 1996 ලෝක කුසලාන දිනා දුන් නායකයා වූ අර්ජුන රණතුංග කියන්නේ මෙවැනි කතාවකි. 

“මට පුදුමයි ජයසූරිය තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් ඉඳගෙන ඔහුගේ අතීතය අමතක කරන එක ගැන. එයාට පළමු අර්ධ ශතකය ගන්න එක්‌දින තරග 40 ක්‌ විතර ගියා. නමුත් ඒ අවස්‌ථාව එයා තරුණ ක්‍රීඩකයන්ට දෙන්නේ නැහැ. දැන් චන්දිමාල්වත් විනාශ කරනවා. ඔහුගේ විශ්වාසය බිඳලා දානවා. ශ්‍රී ලංකාවේ අයි.පී.එල්. වරම ප්‍රතික්‌ෂේප කළ එකම ක්‍රීඩකයා චන්දිමාල්. ජයසූරිය චන්දිමාල්ට මෙහෙම කරන්නෙ එයා අයි.පී.එල්. වලින් ප්‍රතිලාභ ලබපු නිසාද’ යනුවෙන් රණතුංග සැර කතාවක්‌  මුදා හැරියේය. එක්‌දින තරග 128 කදී ශතක 4 ක්‌ සහ අර්ධ ශතක 21 ක්‌ සමග මුලූ ලකුණු 3211 ක්‌ ලබා ඇති චන්දිමාල්ගේ ඉනිමක සාමාන්‍ය 33.44 කි. 

ඔහුගේ ප්‍රහාරාත්මක වේගය 75.11 කි. අනාගතය සඳහා හොඳින් පදම් වෙමින් සිටි චන්දිමාල්ට 2014 වසරේ පැවැති විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා විස්‌සයි විස්‌ස ඔටුන්න පැළඳුවේද ජයසූරියය. නමුත් තරගාවලිය අතරතුර ඔහුගෙන් එය ගලවා දමා මාලිංගට පැළඳවීය. එදා අපි ලෝක ශූරයෝ වීමු. ඒ අනූව එදත් චන්දිමාල්ව උඩටම ගෙන ගොස්‌ ජයසූරිය එක පාරටම බිමටම අතහැර දැමුවේය. අදත් චන්දිමාල්ට වන්නේ එම සිදුවීමේ අනෙක්‌ පැතිකඩයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායක ඇන්ජලෝ මැතිව්ස්‌ද මේ තේරීම් ගැන එතරම් ප්‍රසාදයක්‌ නොමැති බවක්‌ පෙනෙන්නට තිබුණද ඔහු ඒ සම්බන්ධයෙන් කිසිදු වාග් ප්‍රහාරයක්‌ පිට නොකිරීමට වග බලාගෙන තිබේ. කෙසේ වෙතත් මේ තේරීම් හමුවේ ශ්‍රී ලංකාව තවදුරටත් ක්‍රිකට්‌ වලින් ඇන ගතහොත් ඇන්ජලෝ මැතිව්ස්‌ද 2019 ට පෙර නායකත්වයෙන් ඉල්ලා අස්‌වීමේ අවදානමක්‌ තිබුණද සියල්ල සුභවාදී වනු ඇතැයි සියල්ලෝම බලා සිටිති.

අසේල විතාන

No comments:

Post a Comment

Post Bottom Ad