මිනුවන්ගොඩ ශ්‍රීලනීපය කුට්ටිය පිටින් ගැලවෙයි .. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සංවිධාන 250කුත් එකතු වෙයි… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

මිනුවන්ගොඩ ශ්‍රීලනීපය කුට්ටිය පිටින් ගැලවෙයි .. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සංවිධාන 250කුත් එකතු වෙයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙමස 29 වැනි සෙනසුරාදා සවස තුනට උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී සිදුකෙරේ.

වත්මන් පක්ෂ සභාපතිවරයා යටතේ පක්ෂයේ අනාගතය ගැන විශ්වාසයක් නොමැති බැවින් නව පක්ෂය සමඟ එක්වීමට තීරණය කළ බවත් පොදුජන පෙරමුණේ බලමණ්ඩලය ලෙස නම් කෙරුණ ද තවදුරටත් දේශපාලන කටයුතු කරන්නේ ප්‍රසන්න රණතුංග මහතා සමඟ බවත් මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලයේ ලේකම්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල ප්‍රකාශ කළේය.

මිනුවන්ගොඩ ආසනයේ මෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලය පිහිටුවනු ලැබුවේ මිනුවන්ගොඩ හිටපු සංවිධායක දිවංගත රෙජී රණතුංග මහතා විසිනි. රෙජී රණතුංග මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුව එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංගයි. 


2015 ජනවාරි 08 දා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා බවට පත්ව නිදහස් පක්ෂයේ සභාපතිව ධූරය ලබාගැනීමෙන් පසු මහින්ද රාජපක්ෂ පාර්ශවයේ ප්‍රබලයකු වූ ප්‍රසන්න රණතුංග  මිනුවන්ගොඩ ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කෙරුණු අතර නව ආසන සංවිධායක ධූරයට පත් කළ පුද්ගලයා පිළිනොගත් ආසන බලමණ්ඩලය දිගින් දිගටම ප්‍රසන්න රණතුංග සමඟ දේශපාලන කටයුතුවල නිරත විය.

මේ අනුව නිදහස් පක්ෂ බලමණ්ඩලයට අයත් මිනුවන්ගොඩ ආසනයේ ශාඛා සමිති, කාන්තා සමිති, තරුණ සමිති ඇතුළු අනුබද්ධ සංවිධාන 250කට අධික සංඛ්‍යාවක් පොදුජන පෙරමුණට එක්වන බවත් අරංගල්ල ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් ආරම්භ කරන ලද ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය ලබාදීමට ඒකමතිකව තීරණය කළ ප්‍රථම ආසන බලමණ්ඩලය වූයේ ද මිනුවන්ගොඩ ආසන බලමණ්ඩලයයි.

No comments:

Post a Comment

Post Bottom Ad