කානුගෙදර රංජිව දැන් නොදන්නේ කවුරුන්ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

කානුගෙදර රංජිව දැන් නොදන්නේ කවුරුන්ද?

හීන තිබුණට කෝටියක් අතේ නෑ එක රුපියලක්

ඔව්. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙද්දීම මට ගුරු පත්වීම ලැබුණා. ගෙදර ඇතුළු සැහෙන දෙනෙකුගෙන් දැඩි බලපෑමක් ආවා එයට යන්න කියලා. ඒත් මම ගියේ නැහැ. එදා මං ඒ රැකියාවට ගියා නම් කානුගෙදර රංජි කියලා කෙනෙක් නැහැ.

හීන තිබුණට කෝටියක්
අතේ නෑ එක රුපියලක්


හාර කෝටිය ටෙලි සිතුවමේ තේමා ගීතයේ ඇති මේ පේළි දෙක මේ වන විට සාමාන්‍ය සමාජයට කිඳා බැස අවසානයි. එමෙන්ම එය වෙනස්ම තේමාවක් ඔස්සේ නිර්මාණය වූ ටෙලි සිතුවමක් නිසා ප්‍රේක්ෂකයින් වැඩි දෙනෙක් එය නරඹන්න පෙලඹිලා. එහි චරිතවලට ද බොහෝ දෙනෙකුගේ ආදරය හිමිවෙලා තියෙනවා. හාර කෝටියේ එක්තරා සුවිශේෂ චරිතයක් ඉන්නවා. ඒ තමයි කානුගෙදර රංජි. 

ඔහු කතා කරන ස්ටයිල් එක පවා අමුතුයි. හාරකෝටිය තරමටම රංජියවත් ජනප්‍රිය වෙලා. රොහාන් විජේතුංග. කානුගෙදර රංජියගෙ සැබෑ නම එහෙමයි. ක්ෂේත්‍රයට නවකයකු වුණාට ඔහු එම චරිතය හොඳින් ග්‍රහණය කොට ඇති වග පේනවා. අපි ඒ රොහාන්ට මෙලෙස කතාබහකට එකතුකර ගත්තා.

කානුගෙදර රංජි කිව්වම දැන් නොදන්න කෙනෙක් නැහැ. නොසිතු විරූ අන්දමින් නේද ඔබ හාරකෝටිය නිසා ජනප්‍රිය වුණේ?
ඔය චරිතය මුල් කොටස් පහළොවේදී එතරම් තිබුණේ නැහැ. අතුරු චරිතයක් විදිහට නාට්‍යයට ආවේ. පසුව පිටපතහි චරිතය නැවත ලියවිලා ඒ කොටස් පහළොව ඇතුළේ රංජිව තවත් ප්්ලේ කෙරෙව්ව කොටස් නවයෙන් පසුයි ඔහු පැමිණෙන්නේ. මේ වන විට කානුගෙදර රංජිව ප්‍රේක්ෂකයින් බොහොම තදින් වැලඳගෙන තිබෙනවා. පෙර වාසනාවක් මට ඒ ලැබුණු අවස්ථාව.

ටෙලි නාට්‍ය නරඹද්දී පේනවා ඔබ ඒ චරිතයට බොහොම හොඳින් සාධාරණයක් ඉටු කරනවා කියලා?
ඔය චරිතය ලියවුණේ සද්ධාමංගල සූරිය බණ්ඩාර අතින්. මුහුණෙහි ස්වරූපය හැදුවා වාසනා බණ්ඩාර කියන අංග රචනා ශිල්පියා. රංජිගේ චරිතය කැමරාව ඉදිරියේ හැදුවේ මම. හාරකෝටිය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයා අතනොහැර අතදුන්නා චරිතයේ හැඩය ගොඩනඟා ගන්න.

කානුගෙදර රංජිව ඔබ විසින් හදාගන්න මොන වගේ අධ්‍යයනයක් ද කළේ?
ඕක නාගරික සමාජය තුළ සිටින චරිතයක්. මං කොළඹ නෙවෙයි. රත්නපුර කුරුවිට මගේ ගම. මට මේ චරිතය හරිම නුහුරුයි. මට මේ චරිතය ලැබුණායින් පසුව මං ඒ සමාජයට බැහැලා මනා අධ්‍යයනයක යෙදුණා. ඒ තරුණයන් හරියට වචනය කියන්නේ නැහැ. ලිස්සලා යන ස්වරූපයක් තියෙනවා. ඒ අනන්‍යතාවය හදාගත්තා. ඒ වගේම මේ චරිතය තුළ අවංකත්වයකුත් තියෙනවා. කොයි වෙලාවෙවත් පාවා දෙන්නේ නැහැ. 

ඔබට කොහොමද හාර කෝටියේ කානුගෙදර රංජිගේ චරිතය ලැබෙන්නේ?
මං කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉගෙන ගන්නා අවධියේ මට හමු වුණා නාමල් ජයසිංහ කියන ගුරුවරයා. ගුරුවරයෙක් වගේම ඔහු හිත හොඳ මිනිහෙක්. ඔහු තමයි බොහීමියානුවා නාට්‍යයෙහි පිටපත් රචකයා. එය අධ්‍යක්ෂණය කළේ හාරකෝටිය අධ්‍යක්ෂණය කරන සිවගුරුනාදන් මහත්තයා. නාමල් සර් මට බොහිමියානුවා නාට්‍යයේ රඟපාන්න චරිතයක් දුන්නා. නම සාලිය. මං එහි රඟපෑවේ හුදෙක්ම කැමරාව ඉදිරියේ රඟපාලා අත්දැකීම් ලබාගන්නට පමණයි. නාමල් සර් ඊට අවස්ථාව ලබා දුන්නෙත් එහෙම කියලා. මට එතෙන්දි සිවා අංකල්ව හඳුනගන්නා ලැබුණා. ඔහු තමයි මාව දිගින් දිගටම රඟපාන්න ගත්තේ. මෙඩි සිනා හීන්පැල්ල ලෙසින් පසුව රඟපෑවා. අනතුරුව කළු කුරුල්ලාහි ඩිංගියා වුණා. දැන් කානුගෙදර රංජියා.

කානුගෙදර රංජියාට ලැබෙන ජනප්‍රියත්වය කොහාමද ඔබ විඳ දරා ගත්තේ?
ජනප්‍රියත්වය ගැන මම වෙනමම මතයක ඉන්නේ. ජනප්‍රියත්වය අද තියෙනවා. හෙට නැතිවෙනවා. මේ කලේ මං ජනප්‍රියයි. හාරකෝටිය ඉවර වුණාම ඒ ජනප්‍රියත්වය ඉවරයි. ඒක දැනගෙනයි මං ජීවත්වෙන්නේ. නමුත් මිනිසුන්ගේ සිත් තුළ කානුගෙදර රංජියා මතකයක් ලෙස ජීවත්වේවි.

ඔබ ගුරු පත්වීමක් පවා අතහැරලායි රංගනයට එන්නේ?
ඔව්. විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙද්දීම මට ගුරු පත්වීම ලැබුණා. ගෙදර ඇතුළු සැහෙන දෙනෙකුගෙන් දැඩි බලපෑමක් ආවා එයට යන්න කියලා. ඒත් මම ගියේ නැහැ. එදා මං ඒ රැකියාවට ගියා නම් කානුගෙදර රංජි කියලා කෙනෙක් නැහැ.

ඒ තිරණය ගැන ඔබේ මතය මොකක්ද?
එදත් අදත් මං එකම මතයක ඉන්නේ. කිසිසේත්ම කනගාටු වෙන්නේ නැහැ ගත්තු තීරණය ගැන.


වෘත්තියක් විදිහට රංගනයේ නියැළෙන්නද අදහස් කරන්නේ?
නැහැ. ලංකාව වගේ රටක එහෙම ඉන්න අපහසුයි. මට තව ඉගෙන ගන්න තියෙනවා. මං මේ වන විට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධිය හදාරනවා. කෙදිනක හෝ රැකියාවක් කරන්න හිතාගෙන ඉන්නවා. රංගනය ද දිගටම සිදු කරනවා. කරන්න බලාපොරොත්තු වන්නේ ද රංගනයට බාධාවක් නැති රැකියාවක්.

හාරකෝටිය රඟපාන්න ගිහින් වෙච්ච කෙදිනකවත් අමතක නොවන අත්දැකීමක් ඔබට තියෙනවා. ඒ ගැන පැවසුවොත්?
එක්තරා දර්ශනයකදී මාංචු කුට්ටමක් මගේ අතේ හිරවුණා. අතේ බැඳලා තිබුණු නූලකට අහුවෙලා තමයි ඒක එහෙම වෙලා තියෙන්නේ. ගලවන්න හදද්දී ඒක තවත් තද වෙනවා. අන්තිමේ සිවා අංකල් ඇවිත් තවත් කෙනෙකු සමඟ එය ගැලෙව්වා. නැතිනම් අතේ තියෙද්දීම ඒක කපන්න වෙනවා.ඒ ගැන හිතෙද්දිත් ඇඟ හිරි වැටෙනවා.

මේ වන විට තවත් ටෙලි නිර්මාණ සඳහා කතාකරලද තියෙන්නේ?
නැහැ. හැබැයි රඟපාපු ටෙලි නාට්‍යයක් එන්න තියෙනවා. ආශා එදිරිසිංහ කරන චිත්‍රපටයකට කතා කළා. එහි රූගත කිරීම් ළඟදීම ඇරැඹේවි.

ඔබේ පාසලත් මතක් කළොත්?
ඇහැලියගොඩ ජාතික පාසල.

අතහිත දුන් පිරිවර?
රමනි වන්නකු ගුරුතුමිය, තුමිදු දොඩම්තැන්න, නාමල් ජයසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, චන්දන අලුත්ගේ, ප්‍රසන්න මහගමගේ, චාමර සමරවික්‍රම, ජයප්‍රකාශ් සිවගුරුනාදන්,සද්ධා මංගල සූරිය බණ්ඩාර මේ අය ඇතුළු උදව් කළ හැමෝටම බෙහෙවින් තුති.

No comments:

Post a Comment

Post Bottom Ad