සංහිඳියාව බිඳින ෆේස්බුක් අදහස් සොයා පොලීසියෙන් විශේෂ මෙහෙයුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 5, 2017

සංහිඳියාව බිඳින ෆේස්බුක් අදහස් සොයා පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජාතීන් හා ආගම් අතර සංහිඳියාව බිඳ දමන අසත්‍ය, වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයින් සහ කණ්ඩායම් වලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවය.

පසුගියදා නාරම්මල ප්‍රදේශයේ හෝටලයක ලබාදෙන ආහාර පාර්සල්වල වන්ද්‍යාකරන බෙහෙත් අඩංගුව තිබූ බවට සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුවත් පළ වී තිබුණු අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ පොලිස් විමර්ශන වලදී එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවට අනාවරණය වී තිබේ. ඒ අනුව එම අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් සිටින බව පොලීසිය සඳහන් කළේය.

මේ ආකාරයේ අසත්‍ය ප්‍රකාශ සමාජජාල වෙබ් අඩවිවල පළ කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරන අතර 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම් සුරැකීමේ පනත යටතේ එවැනි පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් මේ වන විටත් දිවයිනේ සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇත. එමෙන්ම තම පොලිස් බල ප්‍රදේශය තුළ ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ යම් ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දැරිය යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීවරුන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad