බඳින්නේ නැතුව කෙල්ලයි කොල්ලයි එකම ගෙදරක ඉන්න එක හොඳද ? ජනප්‍රිය චරිත දීපු උත්තර ටික මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

බඳින්නේ නැතුව කෙල්ලයි කොල්ලයි එකම ගෙදරක ඉන්න එක හොඳද ? ජනප්‍රිය චරිත දීපු උත්තර ටික මෙන්න

කසාද නොබැඳ එකට ජීවත්වීම හෙවත් Living Together සංකල්පය මේ වන විට අප සමාජය තුළට එක් වෙලා. ඒක එහෙම නැහැ කියලා හිතට එකඟව කාටවත් පැවසීමට හැකියාවක් නැහැ. ඇතැම් අය මේ සංකල්පය සාධාරණීකරණය කරනවා. සමහරු නම් කියන්නේ Living Together අප රටට, අප සංස්කෘතියට නොගැළපෙන බවයි. 

කෙසේ වෙතත් ආදරයයි කැස්සයි හංගන්න බැහැ කියන්න වගේ දැන් Living Together ක්‍රමයත් හංගන්න බැහැ. එයට හේතුව වන්නේ අප රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකුම එහෙම ජීවත් වන නිසා. ඒ අයට හොඳ නම් ඇයි අපිට නරක කියලා සාමාන්‍ය සමාජයේ ඇතැමුන් ද දැන් Living Together සංකල්පයට පවුල් ජීවිත ගත කරන්නට පෙලඹිලා. ඒ නිසා අප රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු මේ ගැන කිව්වේ මොනවාද කියලා බලමු.

දසුන් පතිරණ


කතා දෙකක් නැහැ මං ඊට එකඟයි. මේ මම දැනුත් ගත කරන්නේ ඒ වගේ ජීවිතයක් තමයි. බැඳලා ඩිවෝස් වෙනවට වැඩිය මේ විදිහට ඉන්න එක එක අතකින් හොඳයි. ලිවිං ටුගෙදර් ලෙසට ජීවිතය ගත කරලා පසුව ඇයත් එක්ක මුළු ජීවිතයම ඉන්නවාද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්.

ධනංජය සිරිවර්ධන


ලිවිං ටුගෙදර් කියන සංකල්පය මේ වන විට රැල්ලක් බවට පත් වෙලා. නමුත් මේ සිස්ටම් එක අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැහැ කියන එක නම් කිව යුතුයි. ඇතැම් රටවල ලිවිං ටුගෙදර් සංකල්පය ඒ රටවල සංස්කෘතික අංගයක්. මගේ විශ්ලේෂණයන්ට අනුව අප රටේ ඔය ක්‍රමවේදය තිබුණා. මං අහලා දැකලා තියෙනවා ආච්චිලා සීයලාව මුණුපුරු මිනිබිරියන් විසින් නීත්‍යානුකූලව කසාද බැඳපු අවස්ථා. එහෙයින් මේ සිස්ටම් එක වරදක් හැටියට මං දකින්නේ නැහැ. ඔය සංකල්පයට ලිවිං ටුගෙදර් කියලා වචනයක් හදාගෙන බටහිර රටවලට අනුව මෙහෙ ජීවත් වෙන්න හදනවා. හැබැයි ඒ ජීවත්වන අය දන්නවද දන්නේ නැහැ බටහිර රටවල ලිවිං ටුගෙදර් ජීවත් වෙලා බහුතරයක් නිත්‍යානුකූලව කසාද බඳිනවා කියන කාරණය. සුද්දගෙන් ලිවිං ටුගෙදර් පමණක් අරගත්තට වැඩක් නැහැ. ඊට වඩා තව කොපමණ හොඳ සහ අප රටට වැඩදායි සංකල්ප තියෙනවාද බටහිරින් ලබාගන්න.


යුරේනි නොෂිකා


මේ සංකල්පය ලංකාවට අලුත් දෙයක් වුණාට වෙනත් රටවල නම් හරිම කොමන් දෙයක්. ඒ රටවල සමහරු නම් මුළු ජීවිත කාලයම ලිවිං ටුගෙදර් ගත කරනවා. මං මෙහි කිසිම වරදක් දකින්නේ නැහැ. නීත්‍යානුකූලව විවාහ වෙනවා කියලා කියන්නේ අත්සනක් දාන එකනේ. ලිවිං ටුගෙදර් සංකල්පය මත විවාහය අත්සනකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක එතැනින් එහාට ගිය පුළුල් බැඳීමක්. ලිවිං ටුගෙදර් සංකල්පයට මං හදවතින්ම එකඟයි.

හේමාල් රණසිංහ


මං ලිවිං ටුගෙදර් සංකල්පය ගැන කිසිම අදහසක් දක්වන්නේ නැහැ. මං ඊට එකඟයි කියලා පමණයි කියන්නේ.


මැණික් විජේවර්ධන


ලිවිං ටුගෙදර් නොට් බෑඩ්.


සහන් රන්වල


ලිවිං ටුගෙදර් බටහිර සංකල්පයක්. ඔතන වෙනස තියෙන්නේ පොතක ලිවීම සහ පොතක නොලිවීමනෙ. පොතේ ලියා අත්සන් කොට කසාද බැඳීමක් ආවේ බටහිරින්නේ. නමුත් අපේ ආච්චිලා සීයලා පොතේ නොලියා කසාද බැඳලා තියෙනවා. ඔවුන් හදවතිනුයි බැඳීම් ඇති කරගෙන තියෙන්නේ. නමුත් එහෙම ජිවත්වීම තුළින් බලපෑම් එන්නේ ළමයින්ට. මෙහිදී යම් යම් රීති මත ළමයින්ට කිසිම අයිතිවාසිකමක් ලැබෙන්නේ නැහැනෙ. එතෙන්දි අසරණ වෙන්නේ දරුවෝ. අපේ රටේ අය ඉංග්‍රිසි වචන තමන්ගේ වාසියට හරව ගන්නවනෙ. ලිවිං ටුගෙදර් කියන වචනයත් වාසියට අරගෙන. මෙහිදී වෙන්නේ දෙදෙනෙක් පොතේ ලියා විවාහ නොවී ජීවිත කාලයම සිටීම. අපේ රටේ නම් වුණේ එහෙමයි. අතහැරයාමේ අරමුණින් තමයි අද බොහෝ දෙනා ලිවිං ටුගෙදර් ලෙසට ඉන්නේ. ඒක ඇත්තම ලිවිං ටුගෙදර් ද කියන එක මටත් ප්‍රශ්නයක්.


සුරංගා රණවක


ලිවිං ටුගෙදර් ලෙසට සිටීම කසාද ජීවිතයට වඩා ගොඩක් හොඳයි. දෙන්නෙක් එහෙම ඉන්නේ ඇත්තටම දෙන්නා අතර ආදරයක් තියෙන නිසානේ. ලිවිං ටුගෙදර් සංකල්පය ගොඩ නැඟෙන්නේ දෙදෙනෙකු අතර ඇති විශ්වාසය මත. ඒක සියයට සියයක්ම විශ්වාසය මත එකට ජීවත්වීමක්. කසාදය කියන්නේ බොරුවක් කියලා හිතෙනවා වෙලාවක.


රෝහණ බැද්දගේ


කවුරු කොහොම කෙලස කිව්වත් ලිවිං ටුගෙදර් සංකල්පය අප රටේ තිබුණේ නැහැ. ඒක මේ බටහිරින් ආව දෙයක්නෙ. ඒක ඒ රටවලට හොඳ වුණාට අපේ රටට ගැළපෙන්නේ නැහැ. අපේ රටේ තිබුණේ චාරිත්‍ර විවාහ. පොත්වල අත්සන් කොට නෙවෙයි ඒ චාරිත්‍ර වාරිත්‍ර කළේ. ඒ චාරිත්‍ර ඉටු කළායින් පසුව දෙදෙනෙක් විවාහ වු බවට පිළිගැනීමට ලක් වෙනවා. අන්න ඕකයි අපේ රටේ වුණේ. නැතුව මේ හිතුමනාපෙට ඕන ඕන විදිහෙට පවුල් කෑවේ නැහැ. අනාදිමත් කාලයක පටන් අප රටේ තියෙනවා සිව් සැට කලාව. ඒ කලා ශිල්ප හැට හතර අතර තියෙනවා ආත්මෝභියෝගය නමැති කලාවක්. එමගින් නිරෝගී මිනිසකු බිහි කරනවා. ආත්මෝභියෝගය කොටස් හයකට බෙදෙනවා. එහි දෙවැනි වගන්තිය තමයි ආචාර ධර්ම සහ චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීම. කසාද චාරිත්‍රයත් ඇතුළත් වෙන්නේ ඔතැනට. අද ඉන්න අය බහුතරයක් ඔය ගැන දන්නවද? අඩුම තරමේ කලා ශිල්ප හැට හතරක් තියෙනවා කියලවත් දන්නවද. බටහිර රටවල ඕවා නැහැ. ඒ රටවල්වලින් මොකක් හෝ දෙයක් අරගෙන මහා ලොකුවට හිස මුදුනේ තියාගෙන දේවත්වයෙන් සලකනවා. ලිවිං ටුගෙදර් ක්‍රමයත් එහෙමයි. ඔය වැනි වැරැදිවලට අප සමාජය ගොදුරු වන්නේ වැඩිහිටියන්ගෙන් අවවාද අනුශාසනා ලබා ගන්නෙ නැති නිසයි. නවීන තාක්ෂණය ගැන ඉගෙන ගෙන අන්තර් ජාලයේ සැරිසැරුවම හිතන්නේ තමන් හැම දේම දන්නවා කියලා. අපි මොනවා හරි කියා දෙන්න හැදුවාම උපහාසයට හිනාවෙලා අපිව මොඩයෝ ගානට දානවා. තමන් හැම දේම දන්නවා කියලා හිතන්න එපා. එහෙම වුණාම වැරැදිත් නිවැරැදිව පේනවා.


මනුරංග විජේසේකර


කසාද බැන්දා කියන්නේ ලිවිං ටුගෙදර් තමයි. ඉතින් මේක අමුතු, මාර සංකල්පයක් නෙවෙයි. අද සමාජයට නම් ලිවිං ටුගෙදර් බටහිරෙන් ආව දෙයක්. නමුත් මේක අතීතයේ අප රටේ තිබුණු දෙයක්. අද වනවිට නම් දෙන්නෙක් ආදරය කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳලා ලිවිං ටුගෙදර් තමයි. ඒතරම්ම ඔවුනට නිදහස තියෙනවානේ. හැබැයි මං මෙහිදී තව කාරණයක් මතු කරන්නට කැමැතියි. යම් රටක ජීවත් වෙද්දී බහුතර මතයට අනුගත වන්නට සිදුවනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒක වෙන්න පුළුවන්. ලංකාවේ ඉන්නවා නම් අප ජීවත් වන්නේ බහුතර මතය ඇතුළේ. ඉන් පිට යමක් කරන්න ගියොත් නිකම්ම රැඩිකල්වාදියෙක් වෙනවා. අප රටේ ලිවිං ටුගෙදර් ලෙසට ජීවත්වෙන අය දිහා අමුතු විදිහට බලන්නේ ඒකයි.


බුද්ධික ජයරත්න


ලිවිං ටුගෙදර් සංකල්පය ගැන මගේ තියෙන මතය මේකයි. ඕකෙ දෙපැත්තක් තියෙනවා. ධනාත්මක පැත්ත සහ සෘනාත්මක පැත්ත. ධනාත්මකව ගත්තොත් මේ සංකල්පය තුළදී තමන්ට නියම සහකාරයා හෝ සහකාරිය සොයාගන්න පුළුවන්. පෙම්වතා හෝ පෙම්වතිය ලෙස අප ගත කරන කාලය තුළදී දෙන්නා ගත කරන්නේ හරිම සැහැල්ලු ජීවිතයක්. එහිදී කතාබස් කරන අන්දම පවා වෙනස්. එකිනෙකා තරහා වේවි කියලා තමන් තුළ සිටින නියම පුද්ගලයා මුවා කරගෙන වෙනමම වෙස් මුහුණක් දාගෙන පෙම්වතා හෝ පෙම්වතියව සනසනවා. නමුත් කසාදයෙන් පසුව තමයි නියම පුද්ගලයා මතුවෙන්නට පටන් ගන්නේ. මමත් ඒ තත්ත්වය අත්විඳලා තියෙනවා. එබැවින් ටුගෙදර් සංකල්පය තුළින් නියම සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගත හැකියි. මෙහිදී සෘනාත්මක පැත්තක් තියෙනවා. ලිවිං ටුගෙදර ජීවිතයත් ගත කරලා ඒ දෙන්නා ගැළපෙන්නේ නැතුව වෙන් වුණොත් ලංකාව වගේ රටකදී ගැහැනියට හිමි තැන ගැන ප්‍රශ්නයක් මට තියෙනවා. පිරිමි කෙනාට නම් ගැටලුවක් නැහැ. නමුත් එතැනින් එහාට ගැහැනියට වෙන්නේ මොකක්ද කියන එක ගැටලුවක්.

No comments:

Post a Comment

Post Bottom Ad