ගමේ ඉපදිලා ශ්‍රී ලංකා ක්‍රිකට් හොල්ලපු සුපිරිම ක්‍රීඩකයො 7 දෙනෙකුගේ ඔබ නොදත් අතීත කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 4, 2017

ගමේ ඉපදිලා ශ්‍රී ලංකා ක්‍රිකට් හොල්ලපු සුපිරිම ක්‍රීඩකයො 7 දෙනෙකුගේ ඔබ නොදත් අතීත කතාව

කාලෙකට කලින් ලංකාවෙ ක්‍රිකට් ගැන තිබ්බ නරකම කතාවක් තමයි කොළඹ ලොකු ලොකු කොලීජි වල ළමයින්ට විතරයි ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරන්න චාන්ස් ලැබෙන්නෙ කියන එක. 

කොච්චර දක්ෂ උනත් ගමේ ඉපදිලා, කොළඹ ඇවිල්ලා තමන්ගෙ ක්‍රීඩාව කරල බලධාරීන්ගේ අවධානයට ලක්වෙන්න හැකියාවක් නැති ක්‍රීඩකයො ඕනෙ තරම් හිටියා. සමහර විට අරවින්දල, අර්ජුනලට වඩා දක්ෂ ක්‍රීඩකයොත් ගමෙන් බිහිවෙලා එහෙම සැඟවෙලා යන්න ඇති.

ඉස්සර තත්ත්වය එහෙම උනාට අද වෙද්දි නම් ඉස්සරට සාපේක්ෂව පිට පළාත් වල ක්‍රීඩකයන්ගෙ නියෝජනයක් අපිට කණ්ඩායම තුළින් දකින්න ලැබෙනව. ඉදිරියේදි මේ තත්ත්වය තවත් වර්ධනය වෙයි කියල ක්‍රිකට් ලෝලියො හැටියට අපි බලාපොරොත්තු වෙනව. ගමෙන් බිහිවෙලා ක්‍රිකට් වල ඉදිරියට යන්න හිතන් ඉන්න ක්‍රීඩකයන්ට ශක්තියක් වෙන්නත් එක්ක කියල හිතල අපි මේ කියන්න හදන්නෙ ඒ විදිහට ගමෙන් බිහිවෙලා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට කැපී පෙනෙන සේවයක් කරපු ක්‍රීඩකයො කීප දෙනෙක් ගැනයි.

1. මාතරින් බිහිවූ සනත් ජයසූරිය


Village Cricketers
youtube.com/Cricket Video News

ගමෙන් ඇවිත් වැඩ පෙන්නපු අපේ ක්‍රිකටර්ස්ලා කියල කිවුවම කාගෙත් ඔලුවට මුලින්ම එන නම තමයි මේක. සනත් ටෙරාන් ජයසූරිය. 1969 ජුනි 30 වැනිදා මාතරදී තමයි සනත් ජයසූරිය උපත ලබන්නේ. මාතර සර්වේෂස් විද්‍යාලයෙන් ඉගෙනුම ලබන සනත් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්නෙත් ඒ විද්‍යාලයේ කණ්ඩායම නියෝජනය කරමිනුයි. පස්සෙ කාලෙක පාසැල් කණ්ඩායමේ නායකත්වයත් සනත් විසින් දරණු ලබනව. ඒ කාලෙ අඩු පහසුකම් යටතේ ක්‍රිකට් සෙල්ලම් කරද්දි, ප්‍රමාණෙන් නොගැලපෙන පෑඩ්ස් දාගෙන සෙල්ලම් කරපු නිසයි සනත් පසු කාලෙකත් බැට් කරද්දි සැරින් සැරේ පෑඩ්ස් අතගාල බලන්න හුරුවුණේ කියලත් කතාවක් තිබ්බ. කොහොමින් හරි තමන්ගෙ දක්ෂතාවය සහ කැපවීම නිසා ටික කාලෙකින්ම ජාතික 19න් පහල කණ්ඩායමට සුදුසුකම් ලබන්නත් සනත්ට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකා B කණ්ඩායම යටතේ පකිස්ථානෙ සංචාරය කරල එහෙදි පිට පිට ද්විත්ව ශතක ගහපු නිසා සනත්ට ඉතාම ඉක්මනින් ජාතික කණ්ඩායමේ දොර විවර වෙනව. මුල් කාලෙ මැද පෙළ ක්‍රීඩකයෙක් හැටියට පන්දුවට පහර දෙන ගමන් වමතින් දඟපන්දු යවපු සනත් 96 ලෝක කුසලානෙ ආසන්න වෙද්දි ලිට්ල් කලූ එක්ක ආරම්භක පිතිකරුවෙක් හැටියට උසස්වීමක් ලබනව. එතනින් එහාට දිගහැරුණ, එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙ මුහුණුවර වෙනස් කරපු, මුලු ලෝකෙම දන්න ඉතිහාස කතාව ගැන අපි අමුතුවෙන් විස්තර කරන්න යන්නෙ නෑ. අදටත් ඉඳහිටක හරි සනත්ගෙ පරණ මැච් එකක් ටීවී එකේ දකිද්දි මොහොතකට නැවතිලා බැලෙන්නෙ ඉබේටමයි. ඒ හැම වෙලාවකදිම හිතට එන වචන දෙකක් තියනව. “එහෙමත් කාලයක්…”


2. රත්ගම උපන් ලසිත් මාලිංග


Village Cricketers
Source – arysports.tv

ලසිත් මාලිංග එක්කො ඔබේ ප්‍රියතම ක්‍රීඩකයෙක් වෙන්න ඇති, එහෙම නැත්නම් සමහර විට මාලිංගට ඔබ වෛර කරනවත් ඇති. මේ අන්ත දෙකේ මොන අන්තෙ ඔබ රැඳී හිටියත් අවංකව තමන්ගෙ හිතට තට්ටු කරල ඇහුවොත් මාලිංග කියන්නෙ ලංකාවෙන් බිහිවූ භයානකම වේග පන්දු යවන්නා කියල ඔබේ හිත කියාවි. ඉස්සර අරවින්ද බැට් කරද්දි එයා ලක ලෑස්ති වෙලා ඉන්න ඉරියවුව දැක්කහම ආයෙ ගින්දර වේගෙන් බෝල දාන පොරකට උනත් අරවින්දව අවුට් කරන්න බෑ කියන හැඟීම අපේ ඔලුවට එනව. මාලිංග බැට්ස්මන් කෙනෙක්ට බෝල් කරන්න එද්දිත් එහෙම තමයි. නිකන් විකට් එක අතේ තියාගෙන වගේ තමයි එන්නෙ. ගාල්ලෙ රත්ගම උපන් ලසිත් මාලිංග පොඩි කාලෙ ඉඳන් ක්‍රිකට් වලට කැමැත්තක් දක්වනවා. හැබැයි අපි කවුරුත් වගේ වත්තෙ පිටියෙ ටෙනිස් බෝල ක්‍රිකට් තමයි මාලිංගත් ක්‍රීඩා කරන්නෙ. මාලිංගගෙ ඉස්කෝලෙ වුණු විද්‍යාලෝක පාසැල් ක්‍රිකට් කණ්ඩායමට ලසිත් මාලිංග තේරෙන්නෙ අහම්බයකින්. ඒ පාසැල් ක්‍රිකට් තරඟයකට යන්න එක ළමයෙක් අඩුවුන නිසාවෙන්. ලෙදර් බෝලය හුරු නැති මාලිංග පුරදුකාරයෙක් වගේ පන්දු යවල විකට් ගත්තය කියලයි කියන්නෙ. එදා ඉඳන් පන්දුවෙන් දස්කම් පාන මාලිංගට ගාල්ල මහින්ද විද්‍යාලෙට ඇතුලු වෙන්නටත් මේ දස්කම් උපයෝගී වෙනව. ජාතික කණ්ඩායමට එන්න මාලිංගට පාර කැපෙන්නෙ අපේ හිටපු ක්‍රීඩකයෙක් සහ වේගපන්දු පුහුණුකරුවෙක් වන චම්පක රාමනායකගෙ අවධානය දිනාගත්ත නිසාවෙන්. ලසිත් මාලිංග පන්දු යවපු හැටි, ගත්ත හැට්‍රික්, ලෝක කුසලාන දිනන්න දීපු දායකත්ව ගැන අමුතුවෙන් වෙනම ලිපි ලියන්න වෙනවා. බොහෝ විට මාලිංග වැඩි කාලයක් යන්න කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ඈත් වෙලා යාවි. තාමත් හොඳින් සෙල්ලම් කලාට, මේ වෙද්දි ක්‍රීඩා කරන්නෙ ඇත්ත ලසිත් මාලිංගගෙ ඡායාවක් විතරයි කියන එක අපිට පිළිගන්න වෙනව. ලසිත් මාලිංගගෙ හොඳම කාලෙ කියන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවෙන අවධියක්. එහෙම ගැම්මකින් බෝල දාන බෝලර් කෙනෙක් ආයෙ බිහිවෙන්න සමහරවිට සෑහෙන කාලයක් යාවි.


3. රංගන හේරත් – පොල්ගහවෙල වඩුවාව ග්‍රාමය


Village Cricketers
Source – telegraph.co.uk

හේරත් මුදියන්සේලාගේ රංගන කීර්ති බණ්ඩාර උපත ලබන්නෙ පොල්ගහවෙල වඩුවාව කියන ගමේ. පොල්ගහවෙල ශාන්ත බර්නාඩ් විදුහලින් මුලින්ම සිප් සතර හදාරන රංගන ඊට පස්සෙ නාරම්මල මයුරපාද විද්‍යාලෙට ඇතුළත් වෙනව. එහිදී තමයි රංගන ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන්නෙ. ඊළඟට කුරුණෑගල මලියදේවයට ඇතුළත් වෙන රංගන තමන්ගෙ ක්‍රිකට් කුසලතාවය තවදුරටත් මුවහත් කරගන්නව. 96/97 වකවානුවෙදි තමයි රංගන අන්තර් සමාජ ක්‍රිකට් වලට යොමු වෙන්නෙ. ඒ කුරුණෑගල ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්. ඊට පස්සෙ තමයි රංගන කෝල්ට්ස් කණ්ඩායමට එක් වෙන්නෙ. ඊටත් අවුරුදු දෙක තුනකට පස්සෙයි රංගනට මුල් වරට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාව හම්බුවෙන්නෙ. ඒ 1999 අවුරුද්දෙ ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරඟයකදී. ඒ කාලෙ වෙද්දි අපේ ශ්‍රේෂ්ට මුත්තයියා මුරලිදරන් දඟපන්දු යැවීමෙන් එක් අන්තයක් අල්ලගෙන ඉන්නෙ. තමන්ගෙ තුන්වැනි ටෙස්ට් තරඟයට 2000 අවුරුද්දෙ ක්‍රීඩා කරන රංගනට තමන්ගෙ 4 වැනි ටෙස්ට් එක ගහන්න තව අවුරුදු 4ක්ම බලන් ඉන්න සිද්ධ වෙනව. තමන්ට අවස්ථා ලැබෙනකම් ඉවසීමෙන් බලන් ඉඳල, අවස්ථාව ලැබුණහම උපරිමයෙන් තමන්ගෙ දක්ෂතාවය එළි දක්වන එකයි රංගන කරන්නෙ. කොළඹින් පිට ගමක ඉඳල ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙත් අංක එකේ පන්දු යවන්නා හැටියට වැජඹෙන තැනට ආපු රංගනගෙ ගමන දිහා හැරිල බැලුවහම කාරණා දෙකක් හොඳටම අවබෝධ කරගන්න ලැබෙනව. ඒ තමයි ඉවසීම සහ අධිෂ්ඨානය. බොහොම හිමින් ගමනක් එක්ක ස්ථාවරත්වය දිහාවට පියවර එසවීමක් තමයි රංගන හේරත්ගෙ ක්‍රිකට් ජීවිතයෙන් පෙන්නුම් කෙරෙන්නෙ. මුරලිදරන් අහිමිවීමෙන් පස්සෙ රංගන හේරත් නොහිටින්න අපේ ක්‍රිකට් ලොකු අර්බුදයකට යන්න ඉඩ තිබ්බා කියලයි අපිට හිතෙන්නෙ. අද වෙනකනුත් රංගන රඟන්නෙ ඒ ගැලවුම්කාර චරිතයයි.


4. රන්පොකුණුගමින් ආ නුවන් කුලසේකර


Village Cricketers
Source – vishwagujarat.com

නුවන් කුලසේකරත් ලසිත් මාලිංග වගේම පොඩි කාලෙ ටෙනිස් බෝලෙන් ක්‍රිකට් ගහපු ක්‍රීඩකයෙක්. පසු කාලීනව තමයි ලෙදර් පන්දුවෙන් ක්‍රීඩාවට යොමු වෙන්නෙ. දැනගන්න ලැබෙන විදිහට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නුවන්ට ලොකු බලාපොරොත්තු තිබිල නෑ. ක්‍රීඩාව නිසා හොඳ රැකියාවක් හොයාගෙන තමන්ගෙ පවුල රැකබලා ගැනීම තමයි නුවන්ගෙ අරමුණ වෙලා තියෙන්නෙ මුලදි. එහෙම හිතාගෙන හිටියත් දිගු කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වෙලා ඉන්න විතරක් නෙමෙයි, 2008/09 සීසන් එකේදි ලෝකේ අංක එකේ එක්දින පන්දු යවන්නා හැටියට වැජඹෙන්නත් නුවන් කුලසේකරට හැකියාව ලැබෙනව. නුවන් කුලසේකරගෙ ගම තමයි නිට්ටඹුව රන්පොකුණගම. රන්පොකුණගම මහා විද්‍යාලයෙන් තමයි නුවන් මූලික අධ්‍යාපනය ලබන්නෙ. ලෙදර් පන්දුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්න නුවන් යොමු වෙන්නෙ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙනුයි. ඊට පස්සෙ නුගේගොඩ ක්‍රීඩා සමාජයටත්, ගාලු ක්‍රීඩා සමාජයටත් ක්‍රීඩා කරන්න නුවන්ට අවස්ථාව හිමිවෙනව. නුවන්ගේ ක්‍රීඩා සමාජ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2002/03 තරඟ වාරෙදි හොඳම පන්දු යවන්නා වන්නට නුවන්ට හැකි වෙනවා. ඒ දස්කමුත් සමග 2003 අවුරුද්දෙදි එංගලන්තය හා එක්දින තරඟයක් ක්‍රීඩා කරමින් ජාතික කණ්ඩායමට එක්වන්නට නුවන්ට හැකියාව ලැබෙනව. එක්දින තරඟ එක්ක ගත්තහම ටෙස්ට් වලින් වැඩිය වැඩ පෙන්වන්න නුවන්ට හැකියවක් ලැබුණේ නැති වුණත්, නුවන්ගේ එක ටෙස්ට් ඉනිමක් නම් අදටත් අපේ මතකයේ ඉතාම තදින් සටහන් වෙලා තියනවා. ඒ තමයි පිතිකරුවෙක් හැටියට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරල ලෝඩ්ස් පිටියෙදි අපිව පරාජයෙන් ගලවගත්ත ලකුණු 64 ඉනිම.


5. හම්බන්තොටින් බිහිවූ ක්‍රිකට් තරුව – සුරංග ලක්මාල්


Village Cricketers
Source – youtube.com/Suranga Lakmal Life Story

1987 මාර්තු 10 වැනිදා මාතරදී උපත ලබන සුරංග ලක්මාල් කුඩා කල අධ්‍යාපනය ලබන්නේ තිස්සමහාරාම විද්‍යාලයෙනුයි. ඒ පාසලේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුවක් නොමැති නිසා සැහැල්ලු පන්දු තමයි සුරංගට ක්‍රීඩා කරන්න ලැබෙන්නේ. පාසැලේ හයවැනි වසරේ ඉගෙනුම ලබමින් ඉන්දැද්දි තමයි සුරංග ලක්මාල්ගෙ ක්‍රීඩා දක්ෂතා වෙනත් පාසැලක පුහුණුකරුවෙකුගෙ ඇස ගැටෙන්නේ. ඒ අනුව තමයි සුරංග ලක්මාල්ට දෙබරවැව විද්‍යාලයට ඇතුළු වෙන්නටත්, එහි ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන්නටත් අවස්ථාව උදාවෙන්නෙ. ඒ විදිහට පාසැල් ක්‍රිකට් ජීවිතය අරඹන ලක්මාල් පන්දුවෙන් කැපීපෙනෙන විශිෂ්ට දස්කම් දක්වන්නට සමත් වෙනව. සුරංගගෙ දස්කම් දකින චම්පක රාමනායක මහතාගේ ඉල්ලීම පරිදි තමයි සුරංගට ඊළගට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වෙන්නෙ. එහිදීත් දුෂ්කරතා මැදින් තමන්ගේ දස්කම් දක්වන්නට සුරංග සමත් වෙනවා. ඒ හරහා කොළඹ ටැමිල් යුනියන් කණ්ඩායමට ඇතුලත් වෙන්නටත් අවස්ථාව හිමිකරගන්නව. සුරංග තමයි හම්බන්තොටින් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එක්වූ පළමුවැනි ක්‍රීඩකයා වෙන්නෙත්. 2009 වසරේදි එක්දින කණ්ඩායමට ඇතුළත් වෙන්නටත්, 2010 වසරේදි ටෙස්ට් වරම් හිමි කරගන්නටත් සුරංග සමත් වෙනව. මේ වෙද්දි අපේ කණ්ඩායමේ වේග පන්දු බල ඇණිය මෙහෙයවන, අපට නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට සුරංග පත්ව හමාරයි.


6 & 7. දිනේශ් චන්දිමාල් සහ උපුල් තරංග - බල පිටියෙන් දායාද වූ ක්‍රිකට් පිටියේ බලය



Village Cricketers
Source – toplk.com, srilankamirror.com

දිනේශ් චන්දිමාල් සහ උපුල් තරංග ගැන වෙන වෙනම ලිවිය යුතු වුණත්, ඒ දෙන්නවම අපි එකට ලැයිස්තුගත කලේ එක් හේතුවක් උඩ. මේ දෙන්නම එකම ගම් පියසක උපත ලබල, එකම පාසැල් කණ්ඩායමට ක්‍රීඩා කරපු දෙන්නෙක්. දිනේශ් සහ උපුල් දෙන්නම උපත ලබන්නෙ බලපිටියෙදියි. දෙන්නම අම්බලන්ගොඩ ධර්මාශෝක කණ්ඩායමට තමයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නෙ. උපුල් තරංග වගේම දිනේශුත් පාසල් කණ්ඩායමේ පිතිකරුවෙක් මෙන්ම කඩුලු රකින්නෙක් හැටියයි ක්‍රීඩා කරන්නෙ.2004 සුනාමිය උපුල්ගෙ වගේම චන්දිමාල්ගෙත් ජීවිත වලට කඩාගෙන වදිනව. චන්දිමාල් පස්සෙ කාලෙක කොළඹ ආනන්ද විද්‍යාලෙට ඇතුලු වෙන්න සමත්කම් ලබනව. 2005 අවුරුද්ද වෙද්දි උපුල් තරංග ටෙස්ට් කණ්ඩායමට වගේම එක්දින කණ්ඩායමටත් ඇතුලත් වෙනව. චන්දිමාල්ට ඒ අවස්ථාව හිමිවෙන්නෙ 2010/11 අවුරුදු වලදියි. උපුල් වගේම චන්දිමාලුත් ඉතාම සාර්ථක ආරම්භයන් අරගෙන කාලයක් යද්දි දුෂ්කර කාල පරිච්ඡේද වලට මුහුණ දෙනව. ආපහු තමන්ගෙ දස්කම් පෙන්නල කණ්ඩායමට එන්නත් මේ දෙන්නම සමත් වෙනව. අම්බලංගොඩ ධර්මාශෝක විදුහලෙන් බිහිවෙච්ච මේ ක්‍රීඩකයො දෙන්නම මේ වෙද්දි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය උසුලන්න සමත්වෙලා තියනව. ඒ වගේම මේ පාර චැම්පියන්ස් කුසලාන සංචිතේටත් දිනේශ් වගේම උපුලුත් ඇතුලත් වෙලා තියනව.

No comments:

Post a Comment

Post Bottom Ad