ලක්ෂපාන ඇල්ලට පැන අතුරුදන් වූ මව සහ සිඟිත්තියගේ සිරුරු සොයා ගැනේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 25, 2017

ලක්ෂපාන ඇල්ලට පැන අතුරුදන් වූ මව සහ සිඟිත්තියගේ සිරුරු සොයා ගැනේ

ලක්ෂපාන දියඇල්ලෙන් පහළට පැන අතුරුදන්ව සිටි දෙදරු මවගේ සිරුර අද (25) උදෑසන ලක්ෂපාන ඇල්ලට පහලින් තිබී නෝටන්බ්‍රිජ් පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන තිබනවා.  කාන්තාවගේ මාස දෙකක් පමණ වයසැති සිඟිති දියණියගේ සිරුරද අද අලුයම ලක්ෂපාන දිය ඇල්ලට පහළින් පිහිටි කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයක ජලය නිකුත් කරන ජල ටැංකියේ ආරක්ෂිත දැලේ රැඳී තිබියදී සොයා ගෙන තිබෙනවා. 

මෙලෙස සොයා ගනු ලැබුවේ නෝටන්බ්‍රිජ් ටේබර්ටන් වතුයායේ පදිංචිව සිටි සෙල්වරාජ් සුසිලා (29) නමැත්තියගේ සහ ඇයගේ දරුවාගේ සිරුරුයි.

මියගිය කාන්තාව ඊයේ (24) උදෑසන දහයට පමණ නෝටන්බ්‍රිජ් කොත්තැල්ලෙන ප්‍රජා ශාලාවට ගොස් තිබෙනවා. ඒ රජය මගින් නොමිලෙ ලබාදෙන ත්‍රිපෝෂ ලබාගැනීමට බවත් පස්වරුව වන තෙක්ම ඇය නිවසට නොපැමිණීම බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. ඒ අනුව පවුලේ ඥාතීන් මේ සම්බන්ධයෙන් නෝටන්බ්‍රිජ් පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.


පොලීසිය පවසන්නේ මියගිය කාන්තාව දෙදරු මවක් වන අතර ඇයගේ සැමියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවයි. පොලීසියට ලද පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වෙමින් අතුරුදන්වූ දරුවා සහ මව සොයා පොලීසිය ඊයේ (24) රාත්‍රියේ සිට මෙහෙයුමක් ආරම්භ කළ අතර එම මෙහෙයුමේදී ලක්ෂපාන දිය ඇල්ලට පිවිසෙන පියගැට පෙළ ආසන්නයේ තිබී ඇයගේ බවට සැක කෙරෙන ඇඳුම් කිහිපයක සොයා ගැනීමට හැකි වී තිබෙනවා. 


මේ අනුව ලක්ෂපාන ඇල්ලට පහළින් පොලීසිය සහ ප්‍රදේශවාසීන් කළ සොයා බැලීම්වලදී අතුරුදන්ව සිටි සිඟිත්තියගේ සිරුර දිය ඇල්ලට පහළින් වූ කොත්තැල්ලෙන පෞද්ගලික ජල විදුලි බලාගාරයට ජලය බෙදාහරින  ස්ථානයේ ඇති ආරක්ෂිත දැලක පැටලී තිබියදී අද (25) අලුයම් කාලයේදී සොයාගෙන තිබෙනවා. අඛණ්ඩව සිදු කළ සොයා බැලීම්වලදී මවගේ සිරුරද සොයාගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. 

මවගේ සහ සිඟිත්තියගේ සිරුර ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය මූලික රෝහලේ අධිකරණය වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතයි. මෙය සියදිවි නසා ගැනීමක් ලෙසට සැක කරන බවයි සිද්ධිය සමබන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන නෝටන්බ්‍රිජ් පොලීසිය පවසන්නේ.
 





ඡායාරූප - රංජිත් රාජපක්ෂ - හැටන්

No comments:

Post a Comment

Post Bottom Ad