කොළඹ මැනිං වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකාය යොදවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 11, 2020

කොළඹ මැනිං වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සිවිල් ආරක්ෂක බලකාය යොදවයි




කොළඹ මැනිං වෙළෙඳපොළ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සහය වීමට සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් සහභාගී කරවා ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.


බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් එහි සේවකයින් පිරිසකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් කොළඹ මැනිං පොදු වෙළෙඳපොළ නැවත වසා දැමීමට බලධාරීන් පියවර ගැනීමත් සමග එම තීරණය ගෙන තිබේ.


මේ පිළිබඳ අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා, “ඊයේ පැවති සාකච්ඡාවේ දී සිවිල් ආරක්ෂක බලකායේ, සෙබළුන් 100ක් පමණ යොදවා ගැනීමට තීරණය වුණා. නාට්ටාමිවරුන්ගේ සහය ලැබෙන තෙක් අනිවාර්යෙන්ම නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කළ යුතු නිසා, 100කට ආසන්න සිවිල් ආරක්ෂක සෙබළුන්ගේ සහය භාණ්ඩ බෙදාහැරීමට ලබාගැනීමට තීරණය කළා.“


‍කොළඹ මැනිං වෙළෙඳපොළ වසා දැමීමට සිදුවීමත් සමග එළවළු ගොවීන්ට දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට සිදුවිය. ඒ අනූව ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කරගැනීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයේ නව ස්ථානයක් වෙන්කර දීමට රජය පියවර ගෙන තිබේ.


ඒ අනූව රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ආයතනයට අයත් භූමියක එම ස්ථානය ඉදිකිරීමට සැළසුම් කර ඇති අතර ලබන සඳුදා සිට එහි කටයුතු ආරම්භ වනු ඇත.


කෙසේ වෙතත් මැනිං පොදු වෙළෙඳපොළේ කටයුතුවලට අදාළ සියලුදෙනා නව ස්ථානය වෙත යොමු කෙරෙන්නේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව වෛරසය ව්‍යාප්ත නොවන බවට තහවුරුවීමෙන් පසුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා “දෙරණ අරුණ“ වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේය. 


“පෑලියගොඩ ප්‍රදේශයේ අක්කර 6 ක 7ක භූමිභාගයක් තියෙනවා. ඒක අද හෙට අනිද්දා දින කිහිපය තුළ යටිතල පහසුකම් වර්ධනය කරලා, විදුලිය හා වැසිකිළි පහසුකම් වර්ධනය කරලා එතැන ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මට දැනුම්දීලා තියෙන විදියට සඳුදා, අඟහරුවාදා වෙනකොට ඒ තැන පටන් ගන්නවා. පොසිටිව් තත්ත්වයේ නාට්ටාමිවරු හිටියා. ඒ අයගේ බොහෝ දෙනෙක්ගේ පීසීආර් පරීක්ෂණ කරලා තියෙනවා මැනිං මාර්කට් එකේ හිටිය කාර්යමණ්ඩල, සේවකයින් බොහෝ දෙනෙක්ගේ කරලා තියෙනවා. නමුත් තාමත් කිරීමට ඉතිරි අයත් ඉන්නවා. සඳුදා හෝ අඟහරුවාදා හෝ ආරම්භ වෙනකොට එතැනට ඇතුළුවෙලා ඒ කටයුතු කරන්න කොළඹ මැනිං මාර්කට් එකේ හිටිය කාර්යමණ්ඩලයට අවසරය ලැබෙනවා. හැබැයි කොන්දේසියක් පිට ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණවල ප්‍රතිඵල මත. “


මැනිං පොදු වෙළෙඳපොළ ආශ්‍රිතව කවුරුන් හෝ පීසීආර් පරීක්ෂණ මෙතෙක් සිදුකර ගෙන නොමැති නම් ඒ සඳහා දැනුම් දිය යුතු දුරකථන අංකයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අද දිනයේ දී හඳුන්වා දෙනු ලැබීය.


ඒ අනුව, කොළඹ මධ්‍යම ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නිශාන්ත චන්ද්‍රසේකර මහතා, 0718591551 යන දුරකථන අංකයෙන් ඇමතිමෙන් පීසීආර් පරීක්ෂණ සිදුකර ගත හැකි ආකාරය පිළිබඳව විමසිය හැකිය.








No comments:

Post a Comment

Post Bottom Ad