සද්දෙ දාලා ඡන්දෙ කරොත් බලාගෙනයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 12, 2017

සද්දෙ දාලා ඡන්දෙ කරොත් බලාගෙනයි

පළාත් පාලන මැතිවරණයට අදාළව වාහනවල ශබ්ද විකාශන යන්ත්‍ර බැඳගෙන ප්‍රචාරක කටයුතු සහ රථ පෙළපාලි යැම සම්පූර්ණයෙන් තහනම් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (11 දා) පැවසීය.

එවැනි වාහන අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස සියලුම
පොලිස්‌ ස්‌ථාන දැනුවත් කර ඇතැයි පොලිස්‌ මූලස්‌ථානයේ ඊයේ (11 දා) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

"පළාත් පාලන මැතිවරණයට අදාළව නාම යෝජනා භාර ගැනීම සඳහා අදියරයන් දෙකක්‌ ක්‍රියාත්මකයි. දෙසැම්බර් 11 සිට දෙසැම්බර් 14 දහවල් 12.00 දක්‌වා පළාත් පාලන ආයතන 93 ක නාම යෝජනා භාර ගැනීමට නියමිතයි. දෙවන අදියර ලෙස දෙසැම්බර් 18 සිට දෙසැම්බර් 21 දහවල් 12.00 දක්‌වා පළාත් පාලන ආයතන 248 ක්‌ වෙනුවෙන් නාම යෝජනා භාර ගැනීමට නියමිතයි. මෙහිදී පළමු නාම යෝජනා භාර ගැනීමේ කාලසීමාව තුළ පොලිස්‌ නිලධාරීන් 10,000 ක්‌ රාජකාරි සඳහා යොදවනවා. දෙවැනි නාම යෝජනා භාර ගැනීමට කොපමණ නිලධාරීන් යොදවනවාද යන්න ඉදිරියේදී තීරණය කරනවා".

"සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වැනිදා ආරම්භ වී දෙසැම්බර් 21 දක්‌වා පැවැත්වෙනවා. අදියරයන් දෙකේම නාම යෝජනා අවසන් වන දිනයන් දෙකේදීම විෂයන් දෙකක්‌ පවත්වන දින වනවා. ඒ නිසා විභාගයට බාධා නොවන ලෙස කටයුතු කරන්න කියා මා නැවතත් අපේක්‌ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා".

මැතිවරණයට අදාළව ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා බලපත්‍ර ලබාදීමේදී සඳුදා සිට බ්‍රහස්‌පතින්දා දක්‌වා පෙරවරු 6.00 සිට රාත්‍රි 10.00 දක්‌වාත්, සිකුරාදා සහ සෙනසුරාදා පෙරවරු 6.00 සිට අලුයම 1.00 දක්‌වාත්, ඉරිදා දිනයන්හි පෙරවරු 6.00 සිට රාත්‍රි 12.00 දක්‌වාත් බලපත්‍ර ලබා දෙනවා.

මෙහිදී ශබ්ද විකාශන බලපත්‍ර ලබාදීමේදී විභාගය පැවැත්වෙන වෙලාවක නම් ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදීමක්‌ සිදු කරන්නේ නැහැ. ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර ලබාදීමට පෙර අදාළ පොලිස්‌ ස්‌ථානයෙන් එම ස්‌ථාන පරීක්‌ෂා කළ යුතුයි. ශබ්ද විකාශන යන්ත්‍ර බලපත්‍ර දීමේදී ශබ්ද විකාශන යන්ත්‍ර මැතිවරණ භූමියෙන් පිටතට ශබ්දය නොයන ලෙස මැතිවරණ භූමිය දෙසට හරවා තැබිය යුතුයි.

මේ අනුව අපේක්‌ෂකයන් මැතිවරණ නීතියට අනුව කටයුතු කළ යුතුයි. ඔවුන් එම නීතිය උල්ලංඝනය කරනවා නම් නවීන තාක්‌ෂණය යොදා ගෙන වීඩියෝ කර සෘජුවම නඩු පැවරීම සිදු කරනවා. යම් අවස්‌ථාවක නීතිපති උපදෙස්‌ අවශ්‍ය නම් අදාළ ලිපි ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර කඩිනමින් උපදෙස්‌ ගෙන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කළ යුතුයි.

චමින්ද සිල්වා


No comments:

Post a Comment

Post Bottom Ad